ඕස්ට්‍රේලියාවේ New South Wales (NSW) ප්‍රාන්තයේ South Coast හි පිහිටි Jervis Bay කියන්නේ සොබාදහමට ආදරය කරන කෙනෙක් අනිවාර්යයෙන් යා යුතු ඇත්තටම හරිම අපූරු, මායාකාරී පරිසරයක් තියෙන තැනක්.
විශේෂයෙන්ම මෙහි පිහිටි Hyams Beach වෙරළ තීරය ලෝකයේ තියෙන සුදුම වැලි සහිත වෙරළ ලෙස ගිනස් වාර්තාවට පවා හිමිකම් කියනවා. වෙරළට නුදුරින් පිහිටි සජීවී කොරල් පර පද්ධතිය නිසා මෙහි සුන්දරත්වය තවත් වැඩි වෙනවා.
Jervis Bay වල විශේෂත්වය මොකක්ද?
ඕස්ට්‍රේලියාවේ North Coast වල වගේ Surfing කරන්න මෙහේ ලොකු රළ නැති වීම සහ වතුර ටිකක් සීතල වීම හැරුණාම, Jervis Bay වල තියෙන වටිනාකම වෙන කොහේවත් නෑ. අනෙක් සංචාරක කලාප වගේ උස් ගොඩනැඟිලි හෝ කෘතිම සංචාරක උපක්‍රම වලින් මේ පරිසරය විනාශ වෙලා නෑ. සෙනඟත් ගොඩක් අඩුයි. පිරිසිදු, සුදු වැල්ලේ නිදහසේ ඇවිදින්න, තල්මසුන් සහ ඩොල්ෆින් බලන්න, Kayaking සහ Canoeing පදින්න වගේම ලස්සන පරිසරයක ඇවිදින්න කැමති අයට මේක සුපිරිම තැනක්.
ජාතික උද්‍යාන සහ සත්ව පාරාදීසයක්
Jervis Bay කලාපය ජාතික උද්‍යාන දෙකකට සහ Jervis Bay Marine Park එකට නිවහන වෙනවා. මේ මුහුදු කලාපයේ Bottlenose dolphins, Fur seals, පුංචි පෙන්ගුවින් පක්ෂීන් වගේම Sea dragonsලා බහුලව දකින්න පුළුවන්.
Jervis Bay ජාතික උද්‍යානය සහ Booderee ජාතික උද්‍යානය තුළදී ඔබට කැන්ගරුවන් සහ විවිධ පක්ෂීන් සමීපව දැකබලා ගන්නත් අවස්තාව ලැබෙනවා. ඒ වගේම, Aboriginal ජනතාවට අයත් Booderee National Park Botanic Gardens වෙත ගොස් අපූරු අත්දැකීමක් විඳගන්නත් අමතක කරන්න එපා.
ජල ක්‍රීඩා සහ සංචාරක අත්දැකීම්
Huskisson නගරයේ සිට Cruises මඟින් ගොස් ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමේ හැකියාව පවතිනවා. Crest Diving, Coastal Wilderness Adventures හෝ Woebegone Dive හරහා මුහුද යට සුන්දරත්වය අත්විඳින්න diving කරන්නත් පුළුවන්. මීට අමතරව Sea Kayak Jervis Bay Tours සහ Jervis Bay Kayak හරහා Kayaking, Stand-up paddleboarding, Sailing සහ Fishing සඳහාද සංචාරයන්ට සම්බන්ධ විය හැකියි.
වෙරළබඩ සුන්දර නගර සහ රසවත් කෑම බීම
උතුරේ Callala Bay සිට දකුණේ Huskisson, Vincentia සහ Hyams Beach දක්වා විසිරී ඇති වෙරළබඩ ගම්මාන සහ නගර ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි. මෙහිදී ලෝක ප්‍රසිද්ධ ‘White Sands Walk’ හි ඇවිද යන්නටත්, Callala Beach හි නාන්නටත්, Jervis Bay Maritime Museum එක අසල පැවැත්වෙන market එකෙන් බඩු මිලදී ගන්නටත් ඔබට පුළුවන්.
නවාතැන් පහසුකම්
Jervis Bay හි නවාතැන් ගැනීමට ඕනෑ තරම් තැන් තියෙනවා. වෙරළ අද්දර පිහිටි Cottages, Holiday homes වගේම Green Patch, Bristol Point සහ Cave Beach හි Caravan parks සහ Campgrounds පිහිටා තිබෙනවා.
වෙනස්ම අත්දැකීමක් කැමති අයට Paperbark Camp හි Luxury glamping අත්දැකීමක් විඳගත හැකියි. එහිදී උදෑසන කුරුළු නාදයත් සමඟ, ගස් අතර උස් වූ තට්ටුවක් මත ඉදිකළ Safari tent එකක ගත කිරීමට ලැබීම සැබවින්ම අපූරු අත්දැකීමක්.
යන්නේ කොහොමද?
NSW දකුණු වෙරළ තීරයේ Shoalhaven region එකේ පිහිටා ඇති Jervis Bay වෙත Sydney සහ Canberra නගර දෙකේ සිටම පැය 3කට වඩා අඩු කාලයකින් ළඟා විය හැකියි. Grand Pacific Drive හරහා යන මේ සුන්දර Road trip එකත් ඔයාට වෙනස්ම අත්දැකීමක් එක කරාවි.
Image credit: www.etsy.com