ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුන්‍ය භූමියක් වන සාරානාත් (Sarnath) නිල වශයෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. දකුණු කොරියාවේ Busan නුවර පැවති 48 වැනි UNESCO World Heritage Committee එකේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සමඟම සාරානාත් ඉන්දියාවේ 45 වැනි ලෝක උරුමය ලෙසයි නම් කර ඇත්තේ.
සාරානාත්වල ඇති විශේෂත්වය මොකක්ද?
වරනාසි නගරයේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇති සාරානාත්, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු තම ප්‍රථම දම්සක් දෙසුම හෙවත් “දම්සක් පැවතුම් සූත්‍රය” දේශනා කළ පූජනීය ස්ථානයයි. උන්වහන්සේ තම ප්‍රථම ශ්‍රාවක පිරිසට චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරමින් බෞද්ධ සංඝ සමාජය ආරම්භ කළේද මෙම පින් බිමෙන්. ඒ නිසා සාරානාත් යනු ලොව වටා සිටින බොදු බැතිමතුන්ට ඉතාමත් වැදගත් ස්ථානයක්.
මෙම ලෝක උරුමයට ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වනවා;
- චෞක්බන්දි ස්ථූපය (Chaukhandi Stupa)
- සාරානාත් පුරාවිද්‍යා අවශේෂ
ප්‍රථම දම්සක් දෙසුම සිදුකළ ස්ථානය ලෙස සැලකෙන ධම්මරාජික ස්ථූපය, ධමේඛ ස්ථූපය, මූලගන්ධකුටි විහාරය මෙන්ම අශෝක ස්තම්භයේ අවශේෂ මෙහිදී ඔයාට දැකගන්න පුළුවන්.
වසර ගණනක උත්සාහයක ප්‍රතිඵලයක්
1998 වසරේදී ප්‍රථම වතාවට යුනෙස්කෝ තාවකාලික ලැයිස්තුවට ඇතුළත් වූ සාරානාත් වෙනුවෙන්, ඉන්දියානු රජය 2025 ජනවාරි මාසයේදී නිල අයදුම්පතක් ඉදිරිපත් කළා. ICOMOS විශේෂඥයන්ගේ සමාලෝචනයකින් පසුවයි මෙම ඓතිහාසික තීරණයට එළඹ ඇත්තේ.
මීට අමතරව, බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රධාන බෞද්ධ ස්ථාන හතරෙන් තුනක් දැන් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. ඒ, නේපාලයේ ලුම්බිණිය, බෝධිගයාවේ මහාබෝධි විහාරය සහ වර්තමානයේ එකතු වූ සාරානාත් යන ස්ථානයි.
මෙම ඓතිහාසික අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ එය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි මොහොතක් බවයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව, කරුණාව සහ සාමය පිළිබඳ සර්වකාලීන පණිවිඩය ලෝකයටම දායාද කළ මෙම ස්ථානයට ලැබුණු පිළිගැනීමක් ලෙස ඔහු මෙය හැඳින්වුවා..
මෙම නව නම් කිරීමත් සමඟ ඉන්දියාව ලෝකයේ වැඩිම ලෝක උරුමයන් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මේ පින් බිම් වන්දනා කරගන්න ජපානය, තායිලන්තය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය වගේ රටවලින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ටත් මෙය ඉතාම සුවිශේෂී සිදුවීමක්.
Image Credit: traveltradejournal.com