2026 Australian Census එක අනිවාර්ය කාටද? $3,640ක දඩයෙන් බේරෙන්න දැනගත යුතුම දේ!

ඕස්ට්‍රේලියාවේ සෑම වසර 5කට වරක්ම පැවැත්වෙන Census එක මේ වසරේ අගෝස්තු 11 වන අඟහරුවාදාට යෙදී තිබෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් නොව, එරට තුළ සිටින සැමටම මෙම ප්‍රශ්නාවලිය පිරවීම අනිවාර්ය කර තිබීම විශේෂත්වයක්.

මෙය 1911 වසරේ සිට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් පවත්වනු ලබන ස්වාධීන කටයුත්තක්. මෙයින් එකතු කරගන්නා දත්ත පාසල්, ප්‍රවාහන හා සෞඛ්‍ය සේවා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සහ ඒවා පිහිටුවිය යුතු ප්‍රදේශ තීරණය කිරීමට මහත් සේ උපකාරී වෙනවා.

 

සංගණනයට සහභාගී වීම අනිවාර්යයද?

ඔව්, සංගණන රාත්‍රියේදී ඔස්ට්‍රේලියාව තුළ සිටින සෑම පුද්ගලයෙකුම එය සම්පූර්ණ කළ යුතුයි. ඔබ කෙටි කාලීන සංචාරකයෙක්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා බලපත්‍රයක් යටතේ සිටින අයෙක් වුවද මෙයට සහභාගී වීම අනිවාර්යයි.

සාමාන්‍යයෙන් එක් නිවසකින් එක් අයෙක් මෙම පෝරමය පුරවන අතර:

  • හෝටල්වල හෝ නවාතැන්පළවල නතර වී සිටින විදේශීය සංචාරකයින්ට මුද්‍රිත Census forms ලබාගත හැකියි.
  • Airbnb හෝ Stayz වැනි තාවකාලික කුලී නිවාසවල සිටින අයට online ක්‍රමයට එය සම්පූර්ණ කළ හැකියි.
  • දුර බැහැර ප්‍රදේශවල, කඳවුරුවල හෝ රැකියා සඳහා ගොස් සිටින අයද මේ සඳහා සහභාගී විය යුතුයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරන පරිදි, නිවාස නොමැති අය, රෝහල්ගතව සිටින අය සහ පොලිස් භාරයේ සිටින අය සඳහාද අවශ්‍ය පහසුකම් සැලසීමට කාර්යාංශයේ සේවකයින් 30,000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

 

තොරතුරුවල ආරක්ෂාව සහ භාෂා පහසුකම්

බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් තමයි තමන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂා වේවිද යන්නකියන එක.

නමුත් සංගණනයට ලබාදෙන නම් සහ ලිපිනයන් වැනි රහස්‍ය තොරතුරු පොලිසියට හෝ ආගමන විගමන අංශවලට ලබාගැනීමට කිසිසේත් අවසර නැහැ.. ඒ නිසා, මෙමඟින් කිසිදු අයුරකින් තමන්ට අහිතකර තත්ත්වයක් ඇතිවේ යැයි බිය විය යුතු නැති බවයි පවසන්නේ..

මෙම ප්‍රශ්නාවලිය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කළ යුතු වුණත්, ABS වෙබ් අඩවිය හරහා භාෂා 26කින් අදාළ තොරතුරු ලබාගත හැකියි. ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කරන අයකුට නම්, පරිවර්තන සහ මගපෙන්වීම් සේවා (TIS National) හරහා භාෂා 150කට අධික සංඛ්‍යාවකින් උදව් ලබාගත හැකියි.

 

වැරදි තොරතුරු ලබා දුන්නොත් මොකද වෙන්නේ?

ස්ත්‍රී පුරුෂ භාවය, පරම්පරාව සහ ආගමික නැඹුරුව වැනි ප්‍රශ්න 66ක් දක්වා මෙහි අඩංගු වෙනවා.

මෙම දත්තයන් මහජන අරමුදල් නිසි ලෙස බෙදා හැරීමට රජයට උදව් වන බැවින්, සංගණනයට වැරදි හෝ නොමඟ යවන සුළු තොරතුරු සැපයීම වරදක් ලෙස සැලකෙනවා. එලෙස වැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට $3,640ක් දක්වා වූ දඩ මුදලකට මුහුණ දීමට සිදු විය හැකියි.

Don't forget to share this post!

Recent Posts