පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමට යාමේදී තමන්ගේ Budget එකට සහ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම වාහනය තෝරාගැනීම ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්.
වාහනයක් ගැනීමට පෙර සොයා බැලිය යුතු කරුණු, පරීක්ෂා කළ යුතු දේවල් සහ අසන්නට ඇති ප්‍රශ්න පිළිබඳව කලින්ම දැනුවත් වී සිටීම මඟින් පසුව සිදුවන ලොකු පාඩු වළක්වා ගන්න පුළුවන් වෙනවා.
වාහනය තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු
මිල (Price) සහ අමතර වියදම්: එකම මාදිලියේ, එකම වසරේ සහ එකම දුර ප්‍රමාණයක් ධාවනය කර ඇති වෙනත් වාහන සමඟ මිල සසඳා බලන්න. වාහනයේ මිලට අමතරව Stamp Duty, Registration, Transfer costs, Maintenance, Repairs සහ Insurance සඳහා යන වියදම්ද තමන්ගේ Budget එකට එකතු කරගත යුතුයි.
ඉඩකඩ (Space): වාහනය ගන්නේ දිනපතා වැඩට යන්නද, පවුලේ සංචාර සඳහාද, නැත්නම් බර දේවල් ගෙන යන්නද කියන එක මත තමන්ට අවශ්‍ය වාහනයේ ප්‍රමාණය තීරණය වෙනවා.
ආරක්ෂාව (Safety): Airbags, Seatbelts, Lane departure warnings, Stability control වැනි ආරක්ෂිත පද්ධති නිසි ලෙස ක්‍රියා කරන්නේදැයි පරීක්ෂා කරන්න.
තෙල් වැඩ කිරීම (Fuel Economy): පැරණි වාහනවල ඉන්ධන ඵලදායිතාව අඩු විය හැකි අතර, Green Vehicle Guide එක හරහා වාහනයේ පරිසර හිතකාමී බව සසඳා බලන්න පුළුවන්.
වාහනය පරීක්ෂා කිරීමේදී බලන්න ඕනේ දේවල් (Car Inspection)
පිටත සහ ඇතුළත පරීක්ෂාව: අසුන්, කාපට්, Seatbelts සහ Windows හරියාකාරව වැඩ කරනවාද සොයා බලන්න. Bonnet සහ Boot එක හරියට වැසෙනවාද, Paint එක ගලවිලාද, Body panels අතර ලොකු පරතරයන් තිබේදැයි බලන්න (එය අනතුරුවල ලකුණක් විය හැක).
Tyres: ඕස්ට්‍රේලියාවේ ටයර්වල නීතිමය අවම ගෙවීම් සීමාව (Minimum tread) 1.6mm ක් වෙනවා. ටයර් එක පැත්තකට ගෙවී ඇත්නම් Wheels misaligned වී තිබිය හැකියි.
තෙල් කාන්දුවීම් (Leaks): එන්ජිම යටින් Oil හෝ Coolant ලීක් වෙනවාදැයි පරීක්ෂා කරන්න.
යතුරු ගණන (Keys): වාහනයට යතුරු 2 ක් තිබිය යුතුයි. එකක් පමණක් තිබේ නම් අනික් යතුරට වූ දේ විමසන්න (මෙය මූල්‍ය වංචාවක ලකුණක් විය හැකියි).
ධාවනය කර බලන්න: එන්ජිම එකපාරටම පණගැන්වෙනවාද, Dashboard එකේ Warning lights පත්තුවෙනවාද, Brakes, Clutch සහ AC හරියාකාරව වැඩකරනවාදැයි බලන්න.
VIN අංකය සසඳන්න: වාහනයේ VIN අංකය Registration ලියකියවිලි සමඟ ගැලපෙනවාදැයි බලන්න.
PPSR Check එකක් කරන්න: වාහනයට Finance තිබේදැයි, වාහනය සොරකම් කරන ලද එකක්දැයි හෝ කලින් Written off වුනු එකක් දැයි යන්න PPSR පරීක්ෂාවක් මඟින් තහවුරු කරගන්න.
වාහනය පරීක්ෂා කිරීමේදී කුමක් හෝ ගැටලුවක් හසු වුවහොත්, එම වාහනය මිලදී නොගෙන සිටීමට ඔබට සම්පූර්ණ අයිතිය තිබෙනවා. කුඩා ගැටලුවක් ලෙස පෙනෙන දෙයක් පසුව ලොකු අලුත්වැඩියා වියදමක් බවට පත් විය හැකියි.