මිනිස් ජීවිත ගණනාවක් අහිමි වීමට හේතු වූ ඕස්ට්‍රේලියාවේ Triple-0 (000) හදිසි ඇමතුම් පද්ධතියේ ඇති වූ බිඳවැටීම් සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ සෙනෙට් පරීක්ෂණ වාර්තාවක් මඟින්, එම හදිසි ඇමතුම් සේවාව පුද්ගලික අංශයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම රජයට පවරාගන්නා ලෙස බලවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Telstra, Optus සහ TPG යන ප්‍රධාන දුරකථන සමාගම් ත්‍රිත්වයම ඕස්ට්‍රේලියානු ජනතාවගේ විශ්වාසය කඩකර ඇති බව පවසන Greens සෙනෙට් සභික Sarah Hanson-Young, රටේ පවතින සන්නිවේදන නීති රීති තාක්ෂණයට සාපේක්ෂව යාවත්කාලීන වී නොමැති බවටද චෝදනා කළා.
සෙනෙට් කමිටු වාර්තාවේ ප්‍රධාන යෝජනා සහ චෝදනා
Triple-0 රජයට පවරාගැනීම: දැනට Telstra සමාගම විසින් පවත්වාගෙන යන Emergency Call Person (ECP) කාර්යභාරය රජය යටතට ගෙන, විශේෂ ව්‍යවස්ථාපිත අධිකාරියක් (Statutory Authority) හරහා එය රාජ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාම.
Domestic Roaming අනිවාර්ය කිරීම: ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනක සිටින අයෙකුට (විශේෂයෙන් ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල) ඕනෑම සිම් පතකින් Triple-0 ඇමතීමට හැකි වන පරිදි ජාල අතර Domestic Roaming අනිවාර්ය කිරීම.
ACMA නියාමන අධිකාරිය අසමත් වීම: විදුලි සංදේශ ක්ෂේත්‍රය නියාමනය කිරීමට Australia Communications and Media Authority (ACMA) අසමත් වී ඇති අතර, එහි බලතල සහ ක්‍රියාකාරීත්වය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව.
වින්දිතයන්ට වන්දි ගෙවීම: ඇනහිටීම්වලින් බලපෑමට ලක්වූ සෑම පාරිභෝගිකයෙකුටම වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
2025 සැප්තැම්බර් මාසයේ සිදුවූ Optus ජාල බිඳවැටීම
2025 සැප්තැම්බර් මාසයේදී දකුණු ඕස්ට්‍රේලියාවේ Regency Park හි සිදුවූ Firewall Update එකක දෝෂයක් හේතුවෙන් මිනිත්තු 20 ක කාලයක් තුළ 145,000 කට අධික පාරිභෝගිකයින් පිරිසකට Triple-0 සේවාව අහිමි වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් Optus සමාගමට එරෙහිව ACMA අධිකාරිය මඟින් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එක් උල්ලංඝනයකට ඩොලර් 250,000 ක උපරිම දඩයක් අය කිරීමට නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.
“Triple-0 කියන්නේ සාමාන්‍ය දුරකථන සේවාවක් නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න තියෙන අවසාන බලාපොරොත්තුව. ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවක් පුද්ගලික අංශයට පවරා තැබීම සුදුසු නැහැ.” යනුවෙන් සෙනෙට් කමිටු වාර්තාව දක්වනවා.
ඕස්ට්‍රේලියාවේදී ඔබගේ ජංගම දුරකථන ජාලය (Network Signal) නොමැති අවස්ථාවක පවා, වෙනත් ඕනෑම ජාලයක සම්බන්ධතාවක් ඇති ප්‍රදේශයක සිටී නම් Triple-0 හදිසි ඇමතුම ලබාගත හැකියි.