දැනට ඕස්ට්‍රේලියාවේ පවතින ඉන්ධන මිල ගණන් එක්ක බලද්දී, වාහනයට තෙල් ගහන්න Shed එකට ගියාම “අඩුවට තියෙන එක ගහනවාද, නැත්නම් ගණන් වැඩි එක ගහනවාද?” කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් එනවා.. හැබැයි අඩුවට තියෙන එක ගැහැව්වා කියලා හැම වෙලේම මුදල් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම වැරදි තෙල් වර්ගයක් පාවිච්චි කළොත් එන්ජිමට හානි වෙන්නත් පුළුවන්.
SBS Australia Explained වැඩසටහන හරහා රසායනික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය Zach Aman සහ RACV ආයතනයේ James Williams මේ ගැන ඉදිරිපත් කළ වැදගත් තොරතුරු කිහිපයක් ගැන තමයි අද අපි කියන්නේ.
Octane Rating කියන්නේ මොකක්ද?
අපේ Shed වල ප්‍රධාන වශයෙන් Unleaded 91, Premium 95, සහ Premium 98 ලෙස ඉන්ධන වර්ග 3ක් දකින්න ලැබෙනවා. Octane Number එකෙන් කියවෙන්නේ; ඉන්ධනය එන්ජිම ඇතුළේදී නියමිත වේලාවට කලින් දැවීම (Engine Knock) වළක්වා ගැනීමට තියෙන හැකියාවයි.
අංකය වැඩි වෙන්න වැඩි වෙන්න තෙල්වල ගුණාත්මකභාවය වැඩි වන අතර මිලද ඉහළ යනවා.
ඇමරිකාව වගේ රටවල මේ අංක (87, 89, 91 ලෙස) වෙනස් ලෙස සටහන් වුණත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඒවායින් ලැබෙන ක්‍රියාකාරීත්වය එක සමානයි.
ඔබේ වාහනයට ගැලපෙන්නේ කොයි එකද?
සාමාන්‍ය වාහන (Hatchback / SUV): ඔබේ වාහනය සාමාන්‍ය එකක් නම් Unleaded 91 භාවිත කිරීම වඩාත්ම ලාභදායකයි. 91 වෙනුවට 98 ගැහැව්වා කියලා සාමාන්‍ය වාහනයක Fuel Efficiency එක හෝ ධාවන ශක්තිය විශාල ලෙස වැඩි වෙන්නේ නැහැ.
High-Performance / Sports වාහන: ඔබේ වාහනයේ නිෂ්පාදකයා 95 හෝ 98 නිර්දේශ කර ඇත්නම්, අනිවාර්යයෙන්ම එම ඉන්ධන වර්ගයම භාවිතා කළ යුතුයි. එවැනි වාහනවලට 91 ගැහැව්වොත් එන්ජිමේ කාර්යක්ෂමතාව අඩු වී, දිගුකාලීනව එන්ජිමට හානි සිදුවෙන්න පුළුවන්.
E10 කියන්නේ මොකක්ද? ඒකෙන් සල්ලි ඉතිරි වෙනවාද?
E10 කියන්නේ 90% ක් Unleaded තෙල් සහ 10% ක් ශාකසාරවලින් නිපදවූ Ethanol මුසු කළ ඉන්ධනයකටයි. මේකේ වාසිය තමයි, 91 එකට වඩා ලීටරයක මිල අඩුයි වගේම ඔක්ටේන් අගය තරමක් වැඩියි. අවාසිය වෙන්නේ එතනෝල් නිසා ඉන්ධන දැවීම වේගවත් වෙනවා. එනම් කිලෝමීටර 100 ක් යන්න වැය වන තෙල් ප්‍රමාණය 3% කින් විතර වැඩි වෙනවා.
E10 ලීටරයක මිල අඩු වුණත්, තෙල් පිච්චෙන ප්‍රමාණය වැඩි නිසා අවසානයේ 91 සහ E10 අතර වියදමේ ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ.
අවුරුදු 20 කට වඩා පැරණි, Carburetor තියෙන වාහනවලට E10 භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ.
ඩීසල් (Diesel) වාහන පදවන අයට
ඩීසල් වාහනවලට පෙට්‍රල් දැමීම හෝ පෙට්‍රල් වාහනවලට ඩීසල් දැමීම කිසිසේත්ම නොකළ යුතුයි. ඔබේ ඩීසල් වාහනය Biodiesel සඳහා ගැලපෙන බව නිෂ්පාදකයා දක්වා ඇත්නම් පමණක් එය භාවිතා කරන්න, නැතහොත් Regular Diesel පමණක් තෝරාගන්න.
ඕස්ට්‍රේලියාවේ සියලුම Shed වල, එකම වර්ගයේ තෙල්වල ගුණාත්මකභාවය, රජයේ ප්‍රමිතීන්ට අනුව සමානයි. එම නිසා ඔබේ වාහනයට ගැලපෙන නිවැරදි octane අගය (91, 95 හෝ 98) මොකක්ද කියලා වාහනයේ Petrol Cap එකෙන් හෝ Manual එකෙන් බලලා, manufacturer requirements වලට ගැලපෙන තෙල් වර්ගය ගසා ගැනීම තමයි වඩාත් හොඳ.