ශ්‍රී ලංකාවෙන් පිටතදී උපත ලබූ දරුවෙකුගේ උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කල හැකි ආකාරය ගැනයි අද කතා කරන්නේ.
මේක අදාළ වෙන්නේ, ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබූ, වයස අවුරුදු 22 ට අඩු අයටයි. ඒ වගේම මේ ලියාපදිංචියට දරුවා උපත ලබන වෙලාවේදී පියා හෝ මව, එහෙමත් නැත්නම් මව සහ පියා දෙන්නම (අවම වශයෙන් එක් දෙමව්පියෙකු) ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වීමත් අවශ්‍යයි.
දරුවා ඉපදෙන විට මව සහ පියා, දෙදෙනාම ඕස්ට්‍රේලියානු පුරවැසියන් බවට පත්ව ඇත්නම්, ඔබේ දරුවා ශ්‍රී ලංකාවේ උපත් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.
දරුවා ඉපදෙන විට ශ්‍රී ලංකා පුරවැසිභාවය (හෝ ද්විත්ව පුරවැසිභාවය) ලබාගෙන තිබුණේ එක් දෙමව්පියෙකු පමණක් නම්, එම මව හෝ පියා උපතේ “declarant” (ප්‍රකාශකයා) විය යුතුයි.
අයදුම් කරන්නේ මෙහෙමයි.
අවුරුද්දට අඩු දරුවන්
වයස අවුරුදු (1) දක්වා ළමුන් සඳහා කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයෙන් අයදුම් කරන්න පුළුවන්. කවුන්ටරයෙන් අයදුම්පත ඉදිරිපත් කරන්න, ඔබ කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතුයි. ඔබට පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා ඕනෑම වැඩ කරන දිනයක හමුවීමක් ලබා ගත හැකියි. ඔබේ දරුවාගේ උපන් දින සිට වසරක් (1) ඇතුළත, උප්පැන්න ලියාපදිංචි කිරීමට, ඔබගේ අයදුම්පත කවුන්ටරයෙන් ඉදිරිපත් කරන්නේ නම්, දරුවාගේ උප්පැන්න සහතිකය එදිනම නිකුත් කරන අතර එම මොහොතේම ඔබට එය ලබා ගත හැකියි.
ඔබට ඔබේ දරුවාට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, දරුවාගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමෙන් පසු එදිනම වුවද අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා ඔබ වෙනම වෙලාවක් වෙන් කරවා ගත යුතුය. Passport එක හදාගන්න විදිහ වෙනත් දවසක අරගෙන එන්නම්.
අවුරුද්දට වැඩි දරුවන්
ඔබේ දරුවාගේ උපතේ සිට වසරකට පසු උපත ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත ඉදිරිපත් කරනවා නම්, ඔබගේ අයදුම්පත අනුමැතිය සඳහා Registrar’s General Department එකට යොමු කරනවා.
පුරවැසිභාවය සඳහා ප්‍රකාශය හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම සඳහා ප්‍රකාශ
පුරවැසිභාවය සඳහා ප්‍රකාශය හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම සඳහා ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන් කවුන්ටරයට පමණයි. තැපෑලෙන් ලැබෙන මෙම ප්‍රකාශ පිළිගන්නේ නැහැ. ඔබට ප්‍රකාශය සෘජුවම ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ Citizenship Division එකට ඉදිරිපත් කරන්නත් පුළුවන්.
තැපෑලෙන් අයදුම්පත ඉදිරිපත් කිරීම
ඔබට ඔබගේ අයදුම්පත/ප්‍රකාශය (පුරවැසිභාවය සඳහා ප්‍රකාශය හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම සඳහා ප්‍රකාශය හැර) තැපෑලෙන් ද ඉදිරිපත් කරන්න පුළුවන්. අයදුම්පත/ප්‍රකාශය සහ අනෙකුත් ලේඛන, තැපැල් කිරීමට පෙර සහතික කළ යුතුයි;
අයදුම්පත සාම විනිසුරුවරයෙකු (Justice of the Peace) විසින් නිල මුද්‍රාවකින් පමණක් සහතික කළ යුතුයි. අනෙකුත් සහායක ලියකියවිලි බලයලත් ඕස්ට්‍රේලියානු සහතික කරන්නෙකු (වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, සාම විනිසුරුවරයෙක්, පොලිස් නිලධාරියෙක් හෝ ඖෂධවේදියෙක්) විසින් නිල මුද්‍රාවකින් සහතික කළ යුතුයි.
දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවන්ට පහත ලිපිනයෙහි Adelaide හි ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයාගෙන් සියලුම අයදුම්පත්/ප්‍රකාශ සහතික කරගෙන එම කාර්යාලයටම ඉදිරිපත් කළ හැකියි.
Dr. Charitha Perera
No. 10A, Valmai Avenue,
Kings Park, SA 5034, Australia
මේ සියලුම අයදුම්පත් සහ ඒවා නිවැරදිව පුරවා ගැනීමට අවශ්‍ය උපදෙස් ඔබට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්. මේ සඳහා අදාළ ගාස්තු, අනෙකුත් ලියකියවිලි සහ, උප්පැන්න සහතිකය ලබා ගන්නා ආකාරයත්, උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගන්නා ආකාරයත් වැඩි දුර විස්තර තවත් ලිපියකින් කියවමු.