2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට වඩාත්ම අපහසු නගර අතර දෙවන ස්ථානයේ සිටි කැන්බරා (Canberra) නගරය, නවතම Rental Affordability Index වාර්තාවට අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතරින් වඩාත්ම “පිළිගත හැකි” (acceptable) කුලී වෙළෙඳපොළ බවට පත්ව තිබෙනවා. පර්ත් (Perth), හෝබාර්ට් (Hobart) සහ සිඩ්නි (Sydney) වැනි නගරවල කුලී මිල දැඩි ලෙස ඉහළ යද්දී කැන්බරා නගරයේ කුලීය පහල බැස තියෙනවා.

නවතම සමීක්ෂණයට අනුව කැන්බරා හි සාමාන්‍ය කුලී නිවැසි පවුලක් සිය ආදායමෙන් කුලී ගෙවීම සඳහා වැය කරන්නේ 22.6% ක් පමණයි. මෙයට ප්‍රධාන හේතු තුනක් බලපා තිබෙනවා. එනම් ඉහළ සාමාන්‍ය ආදායම, ACT කලාපයේ කුලී නිවැසි පවුලක සාමාන්‍ය වාර්ෂික දළ ආදායම ඩොලර් 142,658 ක් වන අතර එය ඔස්ට්‍රේලියාවේ ඉහළම අගයයි. නිවාස සැපයුම (Housing Stock) ඉහළ යාම. කුලී පාලන නීති (Rent Stabilisation Measures) 2019 දී හඳුන්වා දුන් නීතිවලට අනුව කැන්බරා හි නිවාස කුලී වැඩි කළ හැක්කේ වසරකට එක් වරක් පමණි. ඒ සඳහා සති 8 ක පෙර දැනුම්දීමක් අවශ්‍ය වන අතර උපරිම වැඩිවීම පාරිභෝගික මිල දර්ශකයේ (CPI) වැඩිවීමට වඩා 10% කට සීමා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 7 න් 5 කම තත්ත්වය ඉතා නරක අතට හැරෙද්දී තත්ත්වය යහපත් වෙමින් පවතින්නේ කැන්බරා සහ මෙල්බර්න් යන නගර දෙකේ පමණක් වන අතර එම නගර දෙකෙහිම කුලී පාලන නීති ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. ACT Shelter හි ප්‍රධාන විධායක නිලධාරිනී Corinne Dobson පෙන්වා දෙන්නේ කැන්බරා හි ඉහළ සාමාන්‍ය ආදායම නිසා අඩු ආදායම්ලාභීන් සහ සිසුන් මුහුණ දෙන දැඩි පීඩනය යටපත් වී ඇති බවයි.
SGS Economics ආයතනයේ Ellen Witte පවසන පරිදි බොහෝ කුලී නිවැසියන් අද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. දරුවන්ට කෑම දීම සඳහා දෙමාපියන් කෑම වේල් මඟහැරීම, බෙහෙත් නොගෙන සිටීම, රැකියා කරන පුද්ගලයන් පවා සිය මෝටර් රථවල ජීවත් වීම සහ දරුවන්ට ක්‍රීඩා වැනි බාහිර ක්‍රියාකාරකම් අහිමි වීම වැනි බරපතළ සමාජීය හා මානසික ගැටලු රැසක් මේ හේතුවෙන් නිර්මාණය වී තිබෙනවා. සමස්තයක් ලෙස කැන්බරා නගරය ඉහළ ආදායම් ලබන පවුල් සඳහා හොඳ කුලී වෙළෙඳපොළක් ලෙස පෙනුණද අඩු ආදායම්ලාභීන්ට සහ සිසුන්ට එය තවමත් ඉතා දුෂ්කර අභියෝගයක්ව පවතිනවා.