ඔස්ට්‍රේලියාව තුල කාන්තාවන් ආරක්ෂිතද? ජීවිතයක් බේරගන්න ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු දේ!

ලෝකය පුරාම ක්‍රියාත්මක වන 16 Days of Activism against Gender-Based Violence වැඩසටහන ආරම්භ වීමත් සමඟ, ඔස්ට්‍රේලියාව තුළ කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය (Domestic and Family Violence) පාලනය කිරීමට ගත යුතු පියවර පිළිබඳව නැවතත් දැඩි අවධානයක් යොමු වී තිබේ. දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන මානව හිමිකම් දිනය (Human Rights Day) දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ මෙවර තේමාව වන්නේ “Ensure justice, protect survivors, end impunity” යන්නයි. ඔස්ට්‍රේලියානු දත්ත වලට අනුව වයස අවුරුදු 15 න් පසු කාන්තාවන්ගෙන් 27% ක් තම සහකරුගෙන් හිංසනයට ලක්ව ඇති අතර, 2024–2025 කාලය තුළ සාමාන්‍යයෙන් සෑම දින 11 කට වරක්ම එක් කාන්තාවක් තම සමීප සහකරු අතින් ඝාතනයට ලක්ව තිබේ. ගෝලීය වශයෙන් ගත් කල කාන්තාවන් මිලියන 840 ක් (3 දෙනෙකුගෙන් එක් අයෙක්) මෙවැනි හිංසනවලට මුහුණ දී ඇති අතර, 2024 වසරේදී පමණක් දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමුන් 137 දෙනෙකු පමණ තම සහකරුවන් හෝ පවුලේ අය අතින් මියගොස් ඇත.

Central Queensland විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාඥ Associate Professor Xanthe Weston පෙන්වා දෙන්නේ කාන්තාවන්ට ආරක්ෂිතම ස්ථානය විය යුතු තම නිවසම අද වන විට වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට පත්ව ඇති බවයි. බොහෝ වින්දිතයින් (Victim-survivors) අධිකරණ පද්ධතිය වෙත යාමට මැලි වන්නේ දීර්ඝ නඩු ප්‍රමාදයන්, හරස් ප්‍රශ්න කිරීම්වලදී තමන්ම වරදකරුවෙකු ලෙස දැනීම සහ සහාය සේවාවල පවතින මූල්‍ය හිඟය නිසාය. මීට අමතරව, ගෘහස්ථ හිංසනය නිසා ඝාතනයට ලක්වන කාන්තාවන් ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ කාන්තාවන් වෙනත් විසඳුමක් නොමැතිව සියදිවි නසාගැනීමට පෙළඹෙන බවටද අනුමාන කෙරේ. එමෙන්ම La Trobe විශ්වවිද්‍යාලයේ Associate Professor Kirsty Duncanson පවසන්නේ First Nations කාන්තාවන් සහ ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයින් (People with disability) මෙම ගැටලුවේදී වැඩි බාධකවලට මුහුණ දෙන බවත්, බොහෝ විට ඔවුන්ව වැරදීමකින් හිංසනය සිදු කරන්නන් (Perpetrators) ලෙස හඳුනාගැනීමේ ප්‍රවණතාවක් පවතින බවත්ය.

මේ අතර, ජ්‍යෙෂ්ඨ අපරාධ නීතිඥ Dr. Nadia David අවධාරණය කරන්නේ හිංසනය සිදු කරන පිරිමින්ව සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටලුව මුලින් උපුටා දැමිය නොහැකි බවයි. බොහෝ වැරදිකරුවන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, මානසික සෞඛ්‍ය ගැටලු හෝ ප්‍රචණ්ඩකාරී ළමා කාලයකට මුහුණ දුන් අය වන අතර, එය කිසිසේත්ම හිංසනයට නිදහසට කරුණක් නොවුණත් ඔවුන්ගේ හැසිරීම් වෙනස් කිරීම සඳහා වන වැඩසටහන් (Men’s behaviour change programmes) වලට ප්‍රමාණවත් අරමුදල් යෙදවීම අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව අන්තර්ජාලයේ පැතිරෙන කාන්තා විරෝධී අදහස් (Online misogyny / Manosphere) පාලනය කිරීමටද පියවර ගත යුතු බව ඇය පෙන්වා දෙයි.

කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් හුදෙක් එක් සිදුවීමක් දෙස පමණක් නොබලා දිගුකාලීනව සිදුවන Coercive Control (පාලනය කිරීමේ සහ බිය ගැන්වීමේ රටා) හඳුනාගත යුතු අතර, ආරක්ෂණ නියෝග (Protection orders) කඩකිරීම්වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයින්ට හිතකර විශේෂ අධිකරණ (Specialist courts) පිහිටුවීමද ඉතා වැදගත් වේ. සාමාන්‍ය පුරවැසියන් ලෙස මෙම දින 16 තුළ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සම්බන්ධ වීමට සහ හිංසනයක් දුටු විට ඊට එරෙහිව හඬ නැගීමට අප සැමට හැකියාව ඇත. විශේෂයෙන්ම, ඔබ දන්නා යම් කාන්තාවක් අනාරක්ෂිත සබඳතාවක සිටින බවට ඔබට සැකයක් ඇත්නම්, ඇයව විනිශ්චය නොකර හෝ ඇයට කළ යුතු දේ අණ නොකර, “මට ඔයා ගැන ටිකක් බයයි, හැමදේම හොඳින්ද?” යැයි සරලව විමසීමෙන් ඇය තනි වී නැති බවත් උදව් ලබා ගැනීමට හැකි බවත් ඇයට දැනෙන්නට හැරිය හැකිය.

Don't forget to share this post!

Recent Posts