තමිල්නාඩුවේ ජනප්‍රිය නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන විජේගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
“මේ වන විට ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටුවට හා වේදනාවට පත්ව සිටිමි” යනුවෙන් M.K. Stalin, මීට පෙර X හි පළ කළ නිවේදනයක දැක්වුණා. මේ වන විට එම සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලනඥ V. Senthilbalaji පැවසුවේ 58 දෙනෙකු පමණ තුවාල ලබා රෝහලට ගෙන ගිය බවයි.
සෙනසුරාදා, එරට වේලාවෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් ඔහුට පවත්වමින් සිටි කතාව නතර කිරීමට සිදු වුණා.
ඛේදවාචකයෙන් පසු ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින් 51 හැවිරිදි විජේ පැවසුවේ මෙම අසිදුවීමෙන් ඔහුගේ හදවත බිඳී ගොස් ඇති බවයි. “Karur හිදී ජීවිත අහිමි වූ මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පවුල්වලට මම මගේ ශෝකය සහ කණගාටුව පළ කරනවා” යනුවෙන් ඔහු සටහන් තබා තිබුණා.
Hindustan Times පුවත්පත දක්වා තිබුණේ විජේව දැකීමට ආශාවෙන් සිටි විශාල පිරිසක් වේදිකා බාධක දෙසට දිව ගිය බවත්, එමඟින් තෙරපීම ඇති වූ බවත්ය.
විජේගේ TVK වර්ණවලින් හිස ඔතාගෙන සිටි අවුරුදු 2ක් වයසැති Dhuru Vishnu නමැති දරුවා මෙම ඛේදවාචකයේ ලාබාලතම ගොදුරයි.
මෙම ඛේදජනක සිදුවීම විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් පත් කිරීමට Stalin නියෝග කර තිබෙනවා.
විපතට පත් වූවන්ගේ පවුල් සඳහා රුපියල් මිලියනයක (USD 17,000) වන්දි මුදලක් ද ලබාදෙන බවට ඔහු නිවේදනය කළා.
අගමැති නරේන්ද්‍ර මෝදි ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මෙම සිදුවීම අතිශයින්ම කණගාටුදායක බවයි.
දුර්වල කළමනාකරණය සහ ආරක්ෂක තත්ත්වයන්ගේ අඩුපාඩු හේතුවෙන් ආගමික උත්සව වැනි අධික ජනකායක් එක් රැස් වන මහා පරිමාණ උත්සවවලදී ඉන්දියාව තුල මෙවැනි මාරාන්තික සිදුවීම් නිතර අසන්නට ලැබෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවේ Kumbh Mela ආගමික උත්සවයේදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වුණා.
පසුගිය වසරේ ජූලි මාසයේදී උතුරු Uttar Pradesh ප්‍රාන්තයේ හින්දු ආගමික රැස්වීමක් අතරතුර පුද්ගලයින් 121 දෙනෙකු මිය ගියා.
මෙම ජුනි මාසයේදී බැංගලෝර්හිදී එම කණ්ඩායමේ පළමු IPL ශූරතාව සැමරූ උත්සවයකදී රසිකයන් 11 දෙනෙකු තෙරපීමෙන් මිය ගියා.