කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අද (12) අලුයම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පියාසර කළ SriLankan ගුවන් සේවයට අයත් යානයකට අකුණු සැර වැදීම හේතුවෙන් එය හදිසියේම යළි කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා.
අද අලුයම 1:00 ට පමණ මෙලෙස කටුනායකින් සිඩ්නි බලා පිටත්ව ඇත්තේ SriLankan ගුවන් සේවයේ UL-606 දරන ගුවන් යානයයි. Airbus A330 වර්ගයේ මෙම පුළුල් බඳ සහිත (Wide-body) යානය ගමන් අරඹන අවස්ථාවේදී එහි මගීන් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සිට තිබෙනවා.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික අකුණු තත්ත්වය හේතුවෙන් ගුවන්ගත කර සුළු වේලාවකින් යානයට අකුණු සැර වැදී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, ආරක්ෂිත පියවරක් ලෙස ගමන අත්හිටුවීමට වහාම තීරණය කළ ගුවන් නියමුවා, අලුයම 1:40 ට පමණ යානය නැවතත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර, අදාළ ගුවන් මගීන් පිරිස සිඩ්නි බලා රැගෙන යාම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වහාම එම වර්ගයේම වෙනත් Airbus A330 යානයක් සූදානම් කර ඇති අතර, එම විකල්ප යානය අද අලුයම 6:00 ට පමණ කටුනායකින් පිටත්ව පැමිණියා.
අකුණු සැර වැදීමට ලක්වූ ගුවන් යානය පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු සඳහා දැනට කටුනායක ගුවන්තොටුපළේ පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් ඉංජිනේරු අංශයට (Hangar) යොමු කර ඇති බව ගුවන්තොටුපළ ප්‍රධාන නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ තම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ යහපැවැත්ම තම ඉහළම ප්‍රමුඛතාවය බවත්, එහි සියලුම මෙහෙයුම් වලදී ඉහළම ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර අඛණ්ඩව ගන්නා බවයි.