පැසිෆික් සාගරයෙන් මතුවන Godzilla – 2027 ලොව බිහිසුණුම වසර වෙයිද?

  • Home
  • /
  • News
  • /
  • පැසිෆික් සාගරයෙන් මතුවන Godzilla – 2027 ලොව බිහිසුණුම වසර වෙයිද?

දේශගුණ විද්‍යාඥයෝ මේ දවස්වල පැසිෆික් සාගරය දිහා බොහොම සූක්ෂ්මව බලාගෙන ඉන්නවා. හේතුව තමයි, මෙහි සිද්ධ වෙන අමුතුම විදියේ දේශගුණික පෙරළිය. කාලගුණ අනාවැකි කියන අය මේකට දැනටමත් ටිකක් බය හිතෙන නමක් දාලා ඉවරයි. ඒ තමයි Godzilla. ඔවුන්  හඳුන්වන්නේ “Godzilla El Nino” කියලා.

ඇත්තටම මේ නම අලුත් එකක් නෙවෙයි. කලින් 2015-16 කාලයේ ඇති වුණු, ඉතිහාසයේ දරුණුම එල් නිනෝ තත්ත්වය හඳුන්වන්නත් පාවිච්චි කළේ ඔය නමමයි. දැන් ආයෙමත් වතාවක් සාගර ජලයේ උෂ්ණත්වය වේගයෙන් වැඩි වීගෙන එන නිසා, ලෝකයේ ප්‍රධාන කාලගුණ සංවිධාන කියන්නේ මේ එන්න හදන්නේ ලේසි පහසු තත්ත්වයක් නෙවෙයි කියලයි.

 

2027 ඉතිහාසයේ උණුසුම්ම වසර වෙයිද?

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organisation – WMO) වගේම බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලයත් (UK Met Office) අනතුරු අඟවන විදියට, මේ ඇතිවෙමින් පවතින එල් නිනෝ තත්ත්වයේ උපරිම බලපෑම නිසා 2027 වසර මිනිස් ඉතිහාසයේ වාර්තා වුණු උණුසුම්ම අවුරුද්ද වෙන්න ඉඩකඩ ගොඩක් වැඩියි.

Stanford climate economist, Marshall Burke පවසන්නේ, දේශගුණ විද්‍යාඥයන් බොහෝ දෙනෙක් 2027 දී ගෝලීය උෂ්ණත්වය උපරිමයටම ළඟා වෙනු ඇතැයි විස්වාස කරන බවයි.

 

El Nino කියන්නේ මොකක්ද?

මේක ස්වභාවිකව සිද්ධ වෙන දේශගුණික රටාවක්. පැසිෆික් සාගරයේ මතුපිට ජලය රත් වීම නිසා ඕස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික උණුසුමක් සහ දැඩි වියළි කාලගුණයක් මේ හරහා ඇති වෙනවා. විශේෂයෙන්ම වැසි අඩු වීම, නියඟය සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම මේත් එක්ක දරුණු ලෙස ඉහළ යනවා.

පහුගිය අවුරුදු කිහිපයේම ලෝකයේ බොහෝ ප්‍රදේශවලට අසාමාන්‍ය විදියට තද වැසි ලැබුණේ “La Niña” කියන තත්ත්වය නිසයි. හැබැයි දැන් ඒක ඉවරයි. දේශගුණ විද්‍යාඥ Ben Noll පවසන විදියට, පහුගිය මාස 9-10 තිස්සේ නොනවත්වා වැස්ස සහ ජල ගැලීම්වලට හුරු වුණු ප්‍රදේශ, එකපාරටම අනෙක් පැත්ත හැරිලා දරුණු ජල හිඟයකට මුහුණ දීමේ ලොකු ප්‍රවණතාවක් තියෙනවා.

ඔස්ට්‍රේලියාව වගේ රටවලට මේක සෘජුවම බලපානවා. පහුගිය දශකයම ලෝකයේ උණුසුම්ම දශකය විදියටයි වාර්තා වුණේ. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර තිබුණට වඩා සෙල්සියස් අංශක 1.5 කින් විතර දැනටමත් ඉහළ ගිහින් තියෙන්නේ.

 

මේක දේශගුණික විපර්යාස නිසා වෙන දෙයක්ද?

විද්‍යාඥයෝ පැහැදිලිවම කියන දෙයක් තමයි, එල් නිනෝ කියන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඇති වුණු දේශගුණික විපර්යාසයක් (Climate Change) නෙවෙයි කියන එක. මේක වසර දහස් ගණනක් තිස්සේ ස්වභාවිකව චක්‍රීයව සිද්ධ වෙන දෙයක්.

හැබැයි ගැටලුව තියෙන්නේ මෙතනයි. දැන් මේ El Nino තත්ත්වය පැමිණෙන්නේ දැනටමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා රත් වෙලා තියෙන ලෝකයකටයි.

ඒ කියන්නේ, කලින් තිබුණට වඩා ලෝකය සෙල්සියස් අංශක කිහිපයක් රත් වෙලා තියෙන වෙලාවක මේ El Nino එකත් ආවම, ඒකෙන් ඇති වෙන රස්නය සහ විනාශය වෙනදාට වඩා කිහිප ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. සරලවම කිව්වොත්, මේක සුපිරි දේශගුණික කුණාටුවක්, එහෙමත් නැත්නම් Perfect Storm එකක් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා.

ඉතින්, මේ එන්න හදන El Nino එක ඇත්තටම “Godzilla” කෙනෙක් තරම්ම දරුණු වෙයිද නැද්ද කියලා ඉදිරි මාස කිහිපයේදී බලාගන්න පුළුවන් වෙයි. කොහොම වුණත්, ඉදිරියේදී එන අධික රස්නයට සහ වියළි කාලගුණයට ලෑස්ති වෙන එක හොඳයි.

Don't forget to share this post!

Recent Posts

894
June 16, 2026