ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට ලබන ජූලි 1 වැනිදා ඉඳන් තමන්ගේ විදුලි බිල සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත! සමහර විදුලි සමාගම් විසින් පාරිභෝගිකයින්ගෙන් අය කරන ගාස්තු හොර රහසේම වැඩි කර ඇති බවට වාර්තා වීමත් සමඟම, ඕස්ට්‍රේලියානු රජය මේ ගැන සෙවීමට පාරිභෝගික සුරැකුම් ආයතනය (ACCC) වෙත විමර්ශනයක් භාර දී තිබෙනවා.
ඇත්තටම විදුලි බිල අඩු විය යුත්තේ කොහොමද?
පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය (Australian Energy Regulator – AER) විසින් නවතම Default Market Offer (DMO – විදුලි සමාගම්වලට උපරිම අය කළ හැකි මිල සීමාව) එක ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි:
NSW: විදුලි බිල 3.4% සිට 5% දක්වා ($66 – 137 කින්) අඩු විය යුතුයි.
South East Queensland : විදුලි බිල 7.2% කින් ($155 කින්) අඩු විය යුතුයි.
Victoria: වික්ටෝරියා ප්‍රාන්තයේද විදුලි බිල 5% කින් පමණ අඩු වීමට නියමිතයි.
දකුණු ඕස්ට්‍රේලියාවේ පමණක් 1.4% ක සුළු වැඩිවීමක් පෙන්වනවා.
මෙම මිල අඩු කිරීමට ප්‍රධාන හේතුව වුණේ ලෝක වෙළඳපොළේ Wholesale energy costs අඩු වීම සහ සුළං මෙන්ම බැටරි බලශක්ති උත්පාදනය ඉහළ යාමයි.
විදුලි සමාගම් කළ හොර වැඩේ මොකක්ද?
බලශක්ති අමාත්‍ය Chris Bowen මහතා ප්‍රකාශ කළේ, සමහර සමාගම් ඉතා සූක්ෂ්ම ලෙස පාරිභෝගිකයින් මුළා කර ඇති බවයි. ඔවුන් විදුලි ඒකකයකට අය කරන මිල අඩු කර ඇති බව පෙන්වමින්, ස්ථාවර සැපයුම් ගාස්තුව හොර රහසේම ඉහළ දමා තිබෙනවා.
“සමහර සමාගම් පාරිභෝගිකයින්ට සහන දෙනවා වෙනුවට තමන්ගේ ස්ථාවර ගාස්තු වැඩි කරලා. මේක බලශක්ති වෙළඳපොළ නීතිවලට අනුව බරපතළ වරදක්. ඒ නිසා මම නියාමන ආයතනවලට කිව්වා මේ ගැන වහාම සොයා බලලා නීතිමය පියවර ගන්න කියලා,” අමාත්‍යවරයා Canberra නුවරදී මාධ්‍ය වෙත පවසා සිටියා.
මිල අඩු කිරීම්වල වාසිය පාරිභෝගිකයාට සෘජුවම ලබා දීම සියලුම බලශක්ති සමාගම්වල වගකීමක් වන අතර, නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව රජය අවධාරණය කරනවා.