ඕස්ට්‍රේලියාවේ රැකියා කරන මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්‍රාමකාලීන ඉතුරුම් (Superannuation) තනි පියවරකින් විශාල ලෙස ඉහළ නැංවිය හැකි දැවැන්ත නීතිමය සංශෝධනයක් ලබන 2026 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. “Payday Super” ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිසංස්කරණය, වසර 20කට පසුව ඕස්ට්‍රේලියානු Super ක්ෂේත්‍රයේ සිදුවන විශාලතම වෙනස ලෙසයි විද්වතුන් හඳුන්වන්නේ.
නමුත් මේ වෙනස සේවකයින්ට රන් දොරටුවක් විවර කරද්දී, එරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට (SMEs) දැඩි හිසරදයක් වී තිබෙනවා.
සේවකයින්ට ලැබෙන සුපිරි වාසි මොනවාද?
දැනට පවතින ක්‍රමය අනුව, ඔබේ Pay slip එකේ superannuation එක සටහන් වුවද, සේවායෝජකයාට එම මුදල ඔබේ Super ගිණුමට බැර කිරීමට දින 90ක කාලයක් හිමි වෙනවා. නමුත් අලුත් නීතිය අනුව, ඔබට වැටුප් ලැබෙන එම දිනයේදීම (Payday) සුපර් මුදල්ද ගිණුමට බැර කළ යුතුයි.
මෙහි ඇති ප්‍රධාන වාසි මෙන්න
මුදල් කලින්ම ගිණුමට වැටෙන බැවින්, ඒවා ආයෝජනය වී දිගු කාලයක් පුරා වැල් පොලී (Compounding Interest) ක්‍රමයට වේගයෙන් වර්ධනය වෙනවා. වයස අවුරුදු 25ක සේවකයෙකුට අමතර කිසිදු මුදලක් නොගෙවා විශ්‍රාම යන විට $4,300කට වඩා වැඩි අමතර මුදලක්ද, අවුරුදු 35ක අයෙකුට $3,300කට වඩා වැඩි මුදලක්ද මේ නිසා හිමි වෙනවා.
ඕස්ට්‍රේලියාවේ වසරකට ඩොලර් බිලියන 5.7ක පමණ Super මුදල් සේවකයින්ට නොගෙවා මඟහරින බව සොයාගෙන තිබෙනවා. නව නීතිය නිසා සල්ලි වංචා කිරීම හෝ ප්‍රමාද කිරීම අතිශය දුෂ්කරයි.
පඩිය වැටුණු සැනින් Super account එකට සල්ලි එන නිසා, තමන්ගේ මුදල් නිසි පරිදි ලැබේදැයි සේවකයින්ට පහසුවෙන්ම බලාගන්න පුළුවන්.
ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුටම තමන්ට හිමි විය යුතු යම් හෝ superannuation payment එකක් ජීවිත කාලය තුළ අහිමි වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ව්‍යාපාරිකයින්ට එල්ල වන මරු පහර!
සේවකයින්ට මෙය ජයග්‍රහණයක් වුවද, ව්‍යාපාරික සංවිධාන පවසන්නේ මේ නිසා ආයතනවල Cash flow එකට දැඩි බලපෑම් එල්ල වන බවයි.
සමීක්ෂණවලට අනුව, මෙම නව නීතියට අනුගත වීම සඳහා සාමාන්‍ය ව්‍යාපාරයකට $124,000ක පමණ අමතර Working capital එකක් ළඟ තබා ගැනීමට සිදු වෙනවා.
දින 7ක සීමාව ඇතුළත සේවක Super මුදල් ගෙවීමට අපොහොසත් වන ව්‍යාපාරවලට, නොගෙවූ මුදලින් 25% සිට 50% දක්වා බරපතළ දඩ මුදල් පැනවීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සූදානමින් සිටිනවා.
පුදුමයට කරුණක් නම්, ව්‍යාපාර 5කින් 2ක්ම තවමත් ලබන මාසේ ඉඳන් ක්‍රියාත්මක වන මේ දැවැන්ත නීතිය ගැන කිසිවක් නොදැන සිටීමයි.
ජීවන වියදම ඉහළ යාම, Base award wage එක 4%කින් වැඩි වීම වැනි ගැටලු රැසකට මුහුණ දී සිටින කුඩා ව්‍යාපාරවලට මේ Payday Super නීතිය තවත් අසීරු කාල පරිච්ඡේදයක් උදා කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනතුරු අඟවනවා.
කෙසේ වෙතත්, ලබන ජූලි 1 වැනිදායින් පසු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ, පඩිය ලැබුණු වහාම ඔබේ Super ගිණුමට මුදල් බැර වී ඇත්දැයි පරීක්ෂා කිරීමට අමතක කරන්න එපා!