ලෝකය පුරාම දැන් තියෙන්නේ AI රැල්ලක්නේ. හැම ක්ෂේත්‍රයකටම වගේ දැන් AI තාක්ෂණය එකතු කරගන්න ලොකු තරඟයක් තියෙනවා. හැබැයි ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු වාහන නිෂ්පාදක සමාගමක් වෙන Ford සමාගමට නම් මේ AI සෙල්ලම වැරදිලා තියෙනවා. තමන්ගේ වාහන නිෂ්පාදන කටයුතු සහ Quality Control එක සම්පූර්ණයෙන්ම වගේ AI වලට බාර දීලා කරගත්ත මෝඩකම නිසා, ඔවුන්ට දැන් විශාල පාඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
තත්ත්වය කොච්චර දරුණු වුණාද කිව්වොත්, තමන් කරපු වැරැද්ද පිළිගෙන, පසුගිය වසර කිහිපය තුළදී විශ්‍රාම ගිය සහ ඉවත් වුණු ප්‍රවීණ ඉංජිනේරුවන් 350ක් විතර නැවතත් සේවයට බඳවා ගන්න Ford සමාගමට සිද්ධ වෙලා තියෙනවා.
AI වලට වඩා “මිනිස් මොළය” වටින්නේ ඇයි?
Ford සමාගමේ Vehicle Hardware Engineering උප සභාපති Charles Poon, Bloomberg වෙත අදහස් දක්වමින් මෙන්න මෙහෙම කියලා තිබුණා;
“කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ ඇත්තටම මරු tool එකක්. හැබැයි ඒකෙන් වැඩක් ගන්න නම් අපි ඒක පුහුණු කරන්න දෙන දත්ත නිවැරදි වෙන්න ඕනේ. පහුගිය කාලේ අපි නිෂ්පාදන ක්‍රියාවලීන් ගණනාවක අත්දැකීම් තියෙන අපේ දක්ෂ ඉංජිනේරුවන්ගේ දැනුමට වඩා AI වලට තැන දෙන්න ගියා. ඒකයි අපිට වැරදුණේ.”
ඔවුන් පවසන විදිහට, වාහනයක් සැලසුම් කරලා කර්මාන්තශාලාවට යවන්න කලින්ම, ඒකේ තියෙන Failure points කලින්ම හඳුනාගන්න මේ අලුතෙන් බඳවාගත්ත ඉංජිනේරුවන්ට පුළුවන්. දැන් මේ ඉංජිනේරුවෝ හැම සතියකම අනිවාර්ය රැස්වීම් පවත්වමින්, AI මෙවලම් මඟින් සිද්ධ වෙන වැරදීම් කර්මාන්තශාලාවට යන්න කලින්ම අල්ලලා දෙනවා.
ලොක්කා කියන කතාව: මිලියන ගණනක වාසියක්!
Ford සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Jim Farley ප්‍රකාශ කරන්නේ, මේ පරණ ඉංජිනේරුවන්ව ආයෙත් වැඩට ගත්තට පස්සේ සමාගමේ ලාභ ආයෙත් ඉහළ ගිය නිසා, Warranty claims වෙනුවෙන් සහ Recalls වෙනුවෙන් වැය වුණු ඩොලර් මිලියන සිය ගණනක මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වුණු බවයි.
මේ වෙනස්කම නිසා, වාහනවල තත්ත්වය මනින ජාත්‍යන්තර “J.D. Power Initial Quality Study” වර්ගීකරණයේදී, පසුගිය වසරේ industry average එකටත් වඩා පහළින් එනම්,10 වැනි ස්ථානයේ හිටපු Ford සමාගම, මේ අවුරුද්දේ සුපිරි දියුණුවක් ලබමින් Porsche සහ Genesis වගේ සුපිරි කාර් සන්නාමවලට විතරක් දෙවැනි වෙමින් 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිත් තියෙනවා.
තවමත් ප්‍රශ්න ඉවර නෑ!
කොහොම වුණත්, Ford සමාගමට තවමත් තමන්ගේ පරණ වැරදීම්වලින් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න ලැබිලා නැහැ. තවමත් ඇමරිකාවේ වැඩිම වාහන ප්‍රමාණයක් දෝෂ සහිතයි කියලා ආපසු කැඳවන (Most Recalled) සමාගම වෙන්නේ Ford. මේ අවුරුද්දේ විතරක් warranty සහ material costs වෙනුවෙන් ඩොලර් බිලියනයක් විතර වැය වෙයි කියලා ඔවුන් අපේක්ෂා කරනවා.
ඇමරිකාවේ විතරක් නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ පවා විකිණූ Ford Transit Custom සහ F-150 කියන වාහන මාදිලිවල දෝෂ නිසා ඒවා මිලදී ගත් පාරිභෝගිකයන්ට වහාම ළඟම ඉන්න Ford අලෙවි නියෝජිතයා හමුවෙන්න කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා.
Ford සමාගමේ මේ සිදුවීමෙන් පේන්නේ, තාක්ෂණය කොච්චර දියුණු වුණත් වසර ගණනාවක මිනිස් අත්දැකීම් සහ ප්‍රායෝගික දැනුම සම්පූර්ණයෙන්ම AI මඟින් ප්‍රතිස්ථාපනය කරන්න තවමත් බැරි බවයි!