ඕස්ට්‍රේලියාවේ වාහන වෙළඳපොළ මෙතෙක් තැබූ සියලුම විකුණුම් වාර්තා බිඳ දමමින් ඉතිහාසගත පෙරළියක් සිදු කර තිබෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එරට තුළ EV සඳහා ඇති වෙලා තියෙන දැවැන්ත ඉල්ලුම.
ජුනි මාසයේ විතරක් වාහන 140,058 ක් විකිණී ඇති අතර, එය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මාසයකදී වාර්තා වූ ඉහළම වාහන විකුණුම් ප්‍රමාණයයි. විශේෂම දේ තමයි, මේ අලෙවි වුණ වාහනවලින් 23.3% ක්ම බැටරි මඟින් ක්‍රියාත්මක වන විද්‍යුත් වාහන (BEV) වීම. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ 8.4% ක් විදිහට තිබුණු EV වෙළඳපොළ, මාසයෙන් මාසය ඉහළ ගිහින් ජුනි වෙද්දී උපරිමයටම ළඟා වෙලා තියෙනවා.
EV රැල්ලට හේතුව මොකක්ද?
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් නිසා ඉන්ධන මිල ඉහළ යාම සහ තෙල් සැපයුම ගැන ඇති වුණු අවිනිශ්චිතතාවය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් වේගයෙන් EV දෙසට හැරෙන්න පටන් අරන්. ජුනි මාසයේ විතරක් අලුත් EV වාහන 32,600 ක් විකිණී ඇති අතර, එය පසුගිය මාස හයට සාපේක්ෂව 180% ක වර්ධනයක්!
ටෙස්ලා (Tesla) සහ BYD තැබූ වාර්තා
ජුනි මාසයේදී විතරක් මේ Tesla Model Y වාහන 8,072 ක් විකිණී ඇති අතර, මැයි මාසයෙන් පස්සේ පිට පිට දෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම අලෙවියක් ඇති වාහනය බවට මෙය පත් වුණා. සමස්තයක් විදිහට Tesla සමාගම ජුනි මාසයේදී වාහන 8,670 ක් විකුණලා 4 වැනි ස්ථානය ගෙන තිබෙනවා.
BYD Sealion 7 වාහන 4,730 ක් විකුණමින් ජුනි මාසයේ තෙවැනි තැන දිනා ගත්තේ BYD සමාගමයි.
දෙවැනි ස්ථානය වාහන 5,999 ක් විකුණූ Ford Ranger රථයට හිමි වුණා.
ටොයෝටා සමාගමට එල්ල වූ දැවැන්ත තර්ජනය
වසර 20කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ අංක එකේ වාහන සන්නාමය වුණු Toyota සමාගම මෙවර බේරුණේ නූලෙන්. චීනයේ BYD සමාගම තමන්ගේම දැවැන්ත cargo vessel එකක් වන BYD Zhengzhou මඟින් ෂැංහයි සිට විශාල වාහන තොගයක් ඕස්ට්‍රේලියාවට ගෙන්වා තිබුණා.
ජුනි මාසයේදී BYD වාහන 18,881 ක් (පසුගිය වසරට වඩා 131.5% ක වර්ධනයක්) විකිණී ඇති අතර, Toyota සමාගම (වාහන 19,124) පරදා පළමු තැනට පත්වීමට ඔවුන්ට අවශ්‍ය වූයේ තවත් වාහන 243 ක් පමණයි! කෙසේ වෙතත්, චීනයෙන් පැමිණි වාහන ප්‍රමාණය (55,516) නිසා ඕස්ට්‍රේලියාවට වැඩිම වාහන සපයන රට බවට චීනය පත්ව තිබෙනවා.
“ඕස්ට්‍රේලියානු වාහන වෙළඳපොළ වෙනස්ම මඟකට”
මෙම වාර්තාගත ප්‍රතිඵලය ගැන අදහස් දක්වමින් Federal Chamber of Automotive Industries (FCAI) හි ප්‍රධානී Tony Weber මහතා පැවසුවේ මෙය කර්මාන්තයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් බවයි.
“ලෝකයේ පවතින අස්ථාවර භාවය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දැන් තෙල් මිලට ගැති නොවන වාහන සොයා යනවා. මේක තාවකාලික රැල්ලක් නෙවෙයි, ඕස්ට්‍රේලියානු වාහන වෙළඳපොළේ සිදුවූ ස්ථිර ව්‍යුහාත්මක වෙනසක්.”