ලෝක ප්‍රකට Uber සමාගම ඕස්ට්‍රේලියානු වැසියන් වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි ජූලි 16 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා Uber රථවලින් ගමන් ගන්නා මගීන්ට තම ගමන් ගාස්තු සඳහා Cash මගින් ගෙවීමේ හැකියාව ලැබෙනවා. මෙතෙක් කල් app එක හරහා කාඩ් පත් මගින් පමණක් මුදල් අය කළ Uber සමාගම, පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් ගත් මෙම තීරණය මෙරට Uber පරිශීලකයන් ලැබූ ලොකු ජයග්‍රහණයක්.
කෙසේ වෙතත්, මෙම පහසුකම ක්‍රියාත්මක වන්නේ අදාළ රියදුරා මුදල් ලබාගැනීමට කැමැත්ත පළ කරන්නේ නම් පමණයි.
වෙනදා වගේම ආරක්ෂාව සහ පහසුව!
මුදලින් ගෙවීම් කළත් app එක හරහා ගමන් ගන්නා මගීන්ට ලැබෙන ආරක්ෂාව සහ පහසුකම්වල කිසිදු වෙනසක් වෙන්නේ නැහැ.
- GPS තාක්ෂණය මගින් ගමන නිරීක්ෂණය කිරීම.
- අවශ්‍යතාවකදී Audio recording (හඬ පටිගත කිරීමේ) පහසුකම.
- පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සහාය (Customer Support).
- ගමන ආරම්භ කිරීමට පෙරම සුපුරුදු පරිදි ස්ථිර ගාස්තුව (Upfront pricing) බලාගැනීමේ හැකියාව.
විශේෂ කරුණක් වන්නේ යම් හෙයකින් රියදුරා සතුව ඉතිරි සල්ලි (Change) නොමැති වුවහොත්, එම ඉතිරි මුදල ඩිජිටල් ක්‍රමයට පියවා ගැනීමටද මෙහිදී ක්‍රමවේදයක් සකසා තිබීමයි.
ඇයි Uber සමාගම මෙහෙම කළේ?
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත පුද්ගලයන් තවමත් ගනුදෙනු සඳහා මුදල් භාවිත කිරීමට වැඩි රුචිකත්වයක් දක්වනවා. සාමාන්‍ය Taxi කර්මාන්තයට සෘජු තරගයක් දෙමින්, මෙම වයස්ගත පාරිභෝගිකයන් තමන් වෙත ආකර්ෂණය කරගැනීම Uber සමාගමේ ප්‍රධාන අරමුණක්.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සඳහා Uber කළමනාකාර අධ්‍යක්ෂිකා Emma Foley පවසන්නේ මෙවැන්නක්.
“බොහෝ ඕස්ට්‍රේලියානුවන් තවමත් ඔවුන්ගේ දෛනික වියදම් පාලනය කරගන්න මුදල් පාවිච්චි කරනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ටත් කාඩ්පත්වලට වඩා මුදලින් ගෙවන්න ලැබෙන එක ලොකු පහසුවක්.”
මීට පෙර Launceston සහ Bunbury යන නගරවල සාර්ථක ලෙස සිදුකළ පරීක්ෂණ චාරිකාවලින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ සමස්ත ගනුදෙනුවලින් 15%ක්ම තවමත් සිදුවන්නේ මුදලින් බව ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ (RBA) දත්තද පෙන්වා දෙනවා.
මුදලින් ගෙවන්න බැරි අවස්ථා මොනවාද?
මෙම පහසුකම රට පුරා ක්‍රියාත්මක වුවත්, ආරක්ෂක හේතූන් මත ඇතැම් අවස්ථාවලදී මුදලින් ගෙවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.
Cash භාවිත කළ නොහැකි අවස්ථා
- සිඩ්නි ගුවන් තොටුපළේ සහ මෙල්බර්න් T1, T2 පර්යන්තවල UberX PIN trips සඳහා
- Uber Teen accounts සඳහා
- දැනට Low Rating සහිත මගීන් සඳහා
කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ ගුවන් තොටුපළ පර්යන්තවල වුවද 4-digit PIN අංකයක් අවශ්‍ය නොවන අනෙකුත් සාමාන්‍ය Uber ගමන් සඳහා මුදලින් ගෙවීමේ හැකියාව පවතිනවා. මුදල් භාවිත කිරීමට කැමති පාරිභෝගිකයන්ට මේ හරහා ඉදිරියේදී වඩාත් පහසු සහ නිදහස් Uber අත්දැකීමක් විඳගත හැකි වනු නොඅනුමානයි.