තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Microsoft සමාගම සිය නවතම ගෝලීය සේවක කප්පාදුව යටතේ ලොව පුරා සිටින සේවකයින් 4,800ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙය ඔවුන්ගේ සමස්ත ශ්‍රම බලකායෙන් 2.1%ක පමණ ප්‍රතිශතයක්. මෙම තීරණය ඕස්ට්‍රේලියාවේ පිහිටි Microsoft ශාඛාවල සේවකයින්ට ද සෘජුවම බලපානු ඇති බවයි ABC News සේවය වාර්තා කරන්නේ.
දැනට Microsoft සමාගම සතුව ඕස්ට්‍රේලියාව පුරා කාර්යාල 6ක සේවකයින් 3,000කට අධික පිරිසක් සේවය කරන අතර, ඉන් කුමන අංශවල සේවකයින් ඉවත් කරනු ඇත්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
AI වෙනුවෙන් යන දැවැන්ත වියදම
ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් (Big Tech), AI වෙනුවෙන් මේ වසරේදී පමණක් ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම අධික වියදම් පියවා ගැනීමට සහ ලාභ උපයා ගැනීමට ඇති දැඩි පීඩනය නිසා Microsoft ඇතුළු සමාගම් රැසක් සිය වියදම් සීමා කිරීමටයි පියවර ගනිමින් සිටින්නේ. මීට පෙර Amazon සහ Meta සමාගම් ද මේ වසරේදී දහස් ගණනක සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත්, Microsoft සමාගමේ Chief People Officer Amy Coleman සේවකයින් වෙත පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “අද දින ඉවත් කරන ලද තනතුරු සඳහා AI මඟින් ආදේශ කිරීමක් සිදු නොවන” බවයි. නමුත්, AI තාක්ෂණය හේතුවෙන් වත්මන් රැකියා කරන ආකාරය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව ඇය පිළිගත්තා.
Xbox ක්‍රීඩා අංශයේ ලොකු වෙනසක්: studios 5ක් ඉවතට!
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Microsoft සමාගමේ Xbox අංශයටයි. එහිදී සමස්තයක් ලෙස රැකියා 3,200ක් කප්පාදු කෙරෙන අතර, ඉන් සේවකයින් 1,600ක්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
Activision Blizzard වැනි දැවැන්ත සමාගම් බිලියන ගණන් වියදම් කර මිලදී ගත්තද, Sony PlayStation සහ Nintendo සමාගම් සමඟ තරඟ කිරීමට Xbox අපොහොසත් වීම මීට ප්‍රධාන හේතුවක්. මේ නිසා Xbox හි නව ප්‍රධානී Asha Sharma ප්‍රකාශ කළේ තමන් සතු Studios සමහරක් විකුණා දැමීමට හෝ ස්වාධීන කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව:
South of Midnight නිෂ්පාදනය කළ Compulsion Games සහ Double Fine Productions ස්වාධීන studios බවට පත් වෙනවා..
Ninja Theory සහ Undead Labs යන studios ද වෙනත් මඟක් ගැනීමට නියමිතයි.
Dishonored නිර්මාණය කල ප්‍රංශයේ පිහිටි Arkane Studios හි අනාගතය පිළිබඳව එරට වෘත්තීය සමිති සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා..
ආයෝජකයින්ගේ අවධානය 2026 වැය ශීර්ෂය වෙත
මූල්‍ය විශ්ලේෂකයින් පවසන්නේ සේවකයින් ඉවත් කිරීම මඟින් Microsoft සමාගම සිය AI ආයෝජන සඳහා මුදල් සොයා ගන්නා බවයි. මේ වසර මුලදී ද ඔවුන් ඇමරිකාවේ සේවකයින් 9,000කට පමණ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථා ලබා දුන්නා.
Azure වැනි Microsoft Cloud සේවාවන් සඳහා AI නිසා ඉහළ ඉල්ලුමක් තිබුණද, ඒ සඳහා අවශ්‍ය Data Centres ඉදිකිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. Microsoft සමාගම 2026 වසර සඳහා ඩොලර් බිලියන 190ක දැවැන්ත වියදම් පුරෝකථනයක් ඉදිරිපත් කර ඇති අතර, වෙළඳපොළ විශ්ලේෂකයින් දැන් බලා සිටින්නේ මෙම අධික වියදම්වලට සාපේක්ෂව AI මඟින් ලැබෙන ආදායම කෙතරම් වේගයෙන් වර්ධනය වන්නේද යන්න පිළිබඳවයි.