කුරුළු උණ හමුවේ ඕස්ට්‍රේලියාවේ බිත්තර සහ කුකුළු මස් කන එක ආරක්ෂිතද?

ලොව පුරා කතාබහට ලක්වන H5N1 avian influenza (කුරුළු උණ) වෛරස් ව්‍යාප්තිය හමුවේ, බිත්තර කර්මාන්තයට තවමත් සෘජු බලපෑමක් එල්ල වී නැහැ. නමුත් වෛරසය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂක පියවරක් ලෙස, එළිමහනේ නිදහසේ ගැවසෙන කුකුළන්ගෙන් ලබාගන්නා බිත්තර (Free-range eggs) නිෂ්පාදනය ඉදිරියේදී දැඩි ලෙස අඩුවීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

 

දකුණු ඕස්ට්‍රේලියාවේ වෛරස් ව්‍යාප්තිය සහ ආරක්ෂක විධිවිධාන

මෑතකදී දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ H5N1 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්, වනජීවී පක්ෂීන් මෙන්ම වාණිජ මට්ටමින් කුකුළු පාලනය කරනු ලබන ගොවිපළවල්වල ආරක්ෂාව පිළිබඳව පුළුල් අවධානයක් යොමුව තිබෙනවා.

Australian Eggs managing director Rowan McMonnies පවසන්නේ ඉදිරි කාලය තුළ කර්මාන්තයට තරමක් අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ඕස්ට්‍රේලියානු වනජීවීන් අතර මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් පෙනී යන්නේ H5 කුරුළු උණ තාවකාලික තත්ත්වයක් නොවන බවත්, මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කර්මාන්තය වසර කිහිපයක සිටම සූදානමින් සිටි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගොවිපළවල් විසින් අනුගමනය කරන ප්‍රධානම ආරක්ෂක පියවරක් වන්නේ කුකුළන් එළිමහනට මුදා හැරීම වෙනුවට ඇතුළත රඳවා ගැනීමයි.

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ නීතිවලට අනුව බිත්තරයක් free range බිත්තරයක් ලෙස නම් කිරීමට නම්, කුකුළන්ට දවල් කාලයේ එළිමහනේ නිදහසේ හැසිරීමට ඉඩ තිබිය යුතුයි. කෙසේ වෙතත්, ජූලි මාසයේ සිට ජෛව ආරක්ෂණ හේතූන් මත කුකුළන් ගොවිපළ ඇතුළටම වී සීමා කර ඇති නිසා, මෙම ලේබල් කිරීමේ නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග නොගැනීමට  Australian Competition and Consumer Commission (ACCC) එක තීරණය කර තිබෙනවා.

 

බිත්තර හා කුකුළු මස්වල ආරක්ෂාව ගැන බිය විය යුතුද?

විශේෂඥයෝ පවසන්නේ පාරිභෝගිකයින් බිය විය යුතු නැති බවයි. ඕස්ට්‍රේලියාව මුහුණ දෙන මෙම තත්ත්වය හමුවේ වුවද, වෙළඳපොලේ ඇති කුකුළු මස් සහ බිත්තර මිනිස් පරිභෝජනයට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත තත්ත්වයේ පවතිනවා.

“ආහාර අනුභව කිරීම හරහා මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නේ නැහැ. අවදානම ඇත්තේ සජීවී සතුන් සමඟ ළඟින් ඇසුරු කිරීමේදී පමණයි” යනුවෙන් Associate Professor Julian Cox පවසනවා.

කෙසේ වෙතත්, යම් හෙයකින් වාණිජ ගොවිපළක වෛරස් රෝග ලක්ෂණ දුටුවහොත්, එම පක්ෂි සමූහයා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා අතර, එය බිත්තර සහ මස් සැපයුමට තාවකාලික බලපෑමක් එල්ල කළ හැකියි. ගොවිපළක් නැවත පිරිසිදු කර අලුතින් කුකුළන් යොදා බිත්තර නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාස කිහිපයක් ගත විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

Don't forget to share this post!

Recent Posts