Melbourne වල Gym ගිනි තියන එක රැල්ලක් වෙලාද?

මෙල්බන් නගරයේ Genesis Gym එකක් පිහිටා තිබුණු ගොඩනැගිල්ලකට අද අලුයම (බ්‍රහස්පතින්දා) කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. මේක හිතමතාම කරන ලද ගිනි තැබීමක් බවයි පොලිසිය කියන්නේ.

 

සිද්ධිය වුණේ කොහොමද?

මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ Maidstone ප්‍රදේශයේ Hampstead පාරේයි. මෙහි Genesis Health and Fitness gym එකත්, ඒ සමඟම Cia Paulista කියන බ්‍රසීලියානු jiu-jitsu සටන් කලා ආයතනයත් එකටයි තියෙන්නේ.

බ්‍රහස්පතින්දා අලුයම 12:30ට පමණ හටගත් මෙම ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදාවට පැයකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. වාසනාවකට වගේ කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැතත්, හදිසි සේවාවන් පැමිණීමට පෙර අපරාධකරුවන් පලා යන්න සමත් වී තිබෙනවා. මේ වන විටත් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.

 

හිමිකරුගේ කතාව

හිමිකරු වන Carlos Viera කියන්නේ තමන්ට කිසිදු පුද්ගලයෙක් සමඟ කිසිදු ප්‍රශ්නයක් හෝ සතුරුකමක් නොතිබුණු බවයි.

වසර 10ක සැමරුමට සූදානම් වෙමින් සිටි මෙම ආයතනය තුළ, ඔහුගේ පෞද්ගලික මතක සටහන් සහ වටිනා උපකරණ රැසක් සම්පූර්ණයෙන්ම අළු වී ගොස් තිබෙනවා.

මේ ගින්න නිසා අසල පිහිටි Guardian Childcare and Education ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයටද ළමයින් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමන්න සිදු වුණා. මේ නිසා පවුල් 100කට වැඩි පිරිසකට තම දරුවන් රැගෙන ආපසු යන්න සිදු වී තිබෙනවා.

 

දින කිහිපයක් ඇතුළත සිදු වූ දෙවන ප්‍රහාරය!

මෙම සිද්ධියට පෙර, මීට දින කිහිපයකට උඩදී එනම් අඟහරුවාදා අලුයම ද Taylors Lakes ප්‍රදේශයේ පිහිටි තවත් Genesis ජිම් එකකට මෙවැනිම ගිනි තැබීමේ ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එහිදී රාත්‍රී කාලයේ පිරිසිදු කිරීමේ නිරත වූ සේවකයෙකුට සහ ජිම් එකට පැමිණ සිටි දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත් වුණා. කෙසේ වෙතත්, මේ සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් තිබේද යන්න තවමත් තහවුරු වී නැති අතර, විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතිනවා.

Genesis ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Ian Jensen-Muir පවසා ඇත්තේ, පොලිස් පරීක්ෂණ සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

පොලිසිය මේ වන විටත් වැරදිකරුවන් අල්ලා ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

Don't forget to share this post!

Recent Posts