සිඩ්නි ගුවන්තොටුපළේ පැවති දැඩි ගමනාගමන තදබදය සහ පාලක මණ්ඩලයේ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී තිබියදී, එහි ධාවන පථය මතදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමට ගිය අවස්ථාවක් ගැන වාර්තා වෙනවා.
ඉරිදා උදෑසන 7:00 ට පමණ මෙම අනතුරුදායක තත්ත්වය වාර්තා වී ඇත්තේ Gold Coast බලා යාමට සූදානම් වූ Jetstar Airbus A320 ගුවන් යානයක් ධාවන පථය වෙත ඇතුළු වෙමින් තිබියදීයි.. එහිදී Qatar Airways Boeing 777 ගුවන් යානයක් tug ආධාරයෙන් ඇදගෙන යමින් තිබී ඇති අතර එම යානා 2 අතර අනතුර සිදු වෙන්න ගියා.
ගුවන් යානා ඇතුළේ ඇති වූ කලබලය
අනතුර වළක්වා ගැනීමට ගත් මෙම හදිසි තිරිංග යෙදීම නිසා යානය ඇතුළේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
Jetstar යානය ඇතුළේ සිට මගීන් වෙත තත්ත්වය පැහැදිලි කරමින් එහි නියමුවා ප්‍රකාශ කර ඇත්තේ, cabin crew එකේ අයෙකුට තුවාල සිදු වූ බවයි. එමෙන්ම, කටාර් ගුවන් යානය මෙහෙයවූ පිරිස ගුවන් පාලක මැදිරියේ උපදෙස් නිසි ලෙස පිළිපැද නැති බවද නියමුවා මගීන් හමුවේ පවසා තිබෙනවා.
පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ
මෙම සිද්ධිය සම්බන්ධයෙන් Australian Transport Safety Bureau (ATSB) එක වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉරිදා අලුතින් නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.
ගුවන් යානා දෙකේම දත්ත, ගුවන් පාලක මණ්ඩල වාර්තා එකතු කර ගැනීමටත්, ගුවන් නියමුවන්, බිම් මට්ටමේ සේවකයින් සහ සිද්ධිය දුටු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා.
දින ගණනක් පුරා පවතින ගුවන් ගමන් ප්‍රමාදයන්
මෙම සිදුවීම වාර්තා වුණේ සිඩ්නි ගුවන්තොටුපළේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් දැඩි ප්‍රමාදයකට ලක් වූ සති අන්තයකයි.. සෙනසුරාදා දින පමණක් ගුවන් ගමන් 150 කට අධික සංඛ්‍යාවක ප්‍රමාදයන් සිදුවනු ඇති බව ගුවන්තොටුපළ කලින්ම අනතුරු ඇඟවීම් කර තිබුණා.
මෙහි ප්‍රධානම වගකීම පැවරෙන්නේ ගුවන් ප්‍රදේශය පාලනය කරන ‘Airservices Australia’ ආයතනයේ කාර්ය මණ්ඩල හිඟයටයි. සේවක මණ්ඩලය ප්‍රමාණවත් නොවීම නිසා ගුවන් ගමන්වාර සීමා කිරීමටත්, කාලසටහන් වෙනස් කිරීමටත් ඔවුන්ට සිදුවී ඇති අතර, මෙම තත්ත්වය මගීන්ට මෙන්ම ගුවන් සේවාවන්ටද දැඩි ලෙස බලපා තිබෙනවා.
Image credit: confessionsofatrolleydolly.com