රට පුරා පැවැත්වීමට නියමිත Census Night එක ආසන්න වෙමින් තිබියදී, එයට මුවාවී ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමට සැදී පැහැදී සිටින සයිබර් වංචාකරුවන් පිළිබඳව ප්‍රධාන පෙළේ telco සමාගම් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා..
මෙම සංගණනය අගෝස්තු 11 වන අඟහරුවාදා දිනට යෙදී ඇති අතර, ඊට පෙර ජනතාව නොමඟ යවමින් පෞද්ගලික සහ මූල්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචනිකයින්ගෙන් පරිස්සම් වන ලෙස පාරිභෝගිකයින්ට දන්වා තිබෙනවා..
වංචාකරුවන්ට අසුවන්න එපා!
විශේෂයෙන්ම මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, සංගණනය සඳහා කිසිදු අවස්ථාවක පෞද්ගලික මූල්‍ය තොරතුරු, බැංකු ගිණුම් ආදී දත්ත ඉල්ලා නොසිටින බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේකන කාර්යාංශය (ABS) කිසිවිටෙකත් ඔබගේ පුද්ගලික පරිගණකයට remote access හෝ ඔබේ නිවසට ඇතුළු වීමට ඉල්ලා සිටින්නේ නැහැ.
Australian Telecommunications Alliance හි ප්‍රධාන විධායක Luke Coleman පවසන ආකාරයට, “වංචනිකයින් බොහෝ විට තමන්ගේ නීතිවිරෝධී ක්‍රියා සාධාරණීකරණය කර ගැනීමට සංගණනය වැනි නිල කටයුතු හෝ ප්‍රදේශයේ සේවය කරන සන්නිවේදන කණ්ඩායම් පවා පාවිච්චි කරනවා.”
ඔවුන් දුරකථන ඇමතුම් සිය ගණනක් ලබා දෙමින්, ව්‍යාජ පණිවිඩ දහස් ගණනක් යවමින් හෝ ඔබේ නිවසට පැමිණෙමින් මෙම වංචාවන් සිදු කිරීමට උත්සාහ කළ හැකි අතර, අවාසනාවකට මෙන් කවුරුන් හෝ මේවාට රැවටුණහොත් එය වංචාකරුවන්ට වාසියක් වෙනවා.
ඔබ ආරක්ෂා වන්නේ කොහොමද?
ABS ආයතනයෙන් එවන ලද්දක් යැයි සඳහන් කරමින් ඔබ වෙත ලැබෙන ඕනෑම SMS එකකට පිළිතුරු දීමෙන් හෝ එහි ඇති Links click කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
ඔබ වෙත ABS හෝ සංගණන නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම දුරකථනය විසන්ධි කරන්න.
ඔබට යම් සැකයක් හෝ උදව්වක් අවශ්‍ය නම්, 1800 181 227 යන අංකයෙන් Census Contact Centre එක අමතන්න.
බොහෝ නිවෙස් වෙත දැනටමත් online සංගණනය සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න දැක්වෙන උපදෙස් සහිත ලිපි ලැබී ඇති අතර, එහි ඇති unique census number එක භාවිතයෙන් හෝ hard copy form එක පිරවීමෙන් ඔබට එය සම්පූර්ණ කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා රජයේ info.census.abs.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.