ඕස්ට්‍රේලියාවේ පවතින පැරණි නීතියක් නිසා වයස අවුරුදු 18 ට අඩු තරුණ රැකියාලාභීන්ට වසරකට ඩොලර් මිලියන 411 ක Superannuation මුදලක් අහිමි වන බව අලුත්ම පර්යේෂණ වාර්තාවලින් හෙළි වෙනවා.
Super Members Council හි දත්තයන්ට අනුව, සතියකට පැය 30 කට වඩා අඩුවෙන් සේවය කරන අවුරුදු 18 ට අඩු සේවකයන්ට මෙලෙස සුපර් නොගෙවීම නිසා, මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Victoria ප්‍රාන්තයේ තරුණ තරුණියන්ටයි. මෙම මුදල් වසරකට අහිමි වීම නිසා ඔවුන්ගේ අනාගත විශ්‍රාමික අරමුදලට දැවැන්ත පාඩුවක් සිදු වෙනවා.
ප්‍රාන්ත මට්ටමින් අහිමි වන මුදල් ප්‍රමාණයන්
Victoria: මෙම මුදල් වර්ෂය තුළදී වික්ටෝරියාවේ තරුණයන්ට අහිමි වන මුදල ඩොලර් මිලියන 115 ක්.
New South Wales: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තරුණයන්ට අහිමි වන මුදල ඩොලර් මිලියන 105 ක්.
සමස්ත ඕස්ට්‍රේලියාවටම: වසරකට ඩොලර් මිලියන 411 ක්.
පැරණි නීතිය සහ අනාගතයට වන පාඩුව
වර්තමාන නීතියට අනුව වයස 18 ට අඩු අයෙකුට Super හිමිවීමට නම්, ඔවුන් එකම ආයතනයක සතියකට පැය 30 කට වඩා සේවය කළ යුතු වෙනවා. නමුත් රැකියාවල නිරත තරුණ තරුණියන්ගෙන් 89% ක්ම සතියකට පැය 30 සීමාවට ළඟා වන්නේ නැහැ.
වයස 18 වන තෙක් වසර දෙකක් Part-time රැකියාවක් කරන තරුණයෙකුට සුපර් එකතු නොවීම නිසා ඩොලර් 2,500 ක මූලික පාඩුවක් සිදුවන අතර, එය විශ්‍රාම යන වයස වන විට Compounding interest සමඟ, ඩොලර් 11,000 ක පාඩුවක් බවට පත් වෙනවා.
කාන්තාවන්ට වන බලපෑම වැඩියි තරුණයන්ට වඩා තරුණියන් Part-time රැකියාවල නිරත වන ප්‍රතිශතය වැඩි නිසා මෙයින් වැඩිම පාඩුවක් සිදුවන්නේ කාන්තාවන්ටයි.
මෙම නීතිය 1992 දී සාදන ලද්දක් වන අතර, වර්තමාන Fee caps අනුව මෙම නීතිය තවදුරටත් පවත්වාගෙන යාම සාධාරණ නැති බවයි Super Members Council එක පවසන්නේ.
Retail, Hospitality වැනි ක්ෂේත්‍රවල රැකියා කරන තරුණ තරුණියන් කරන්නේද නියමිත වේතනයක් හිමිවන සැබෑ රැකියාවන් බැවින්, අනෙක් ඩොලර් මිලියන 17 ක සේවකයන්ට මෙන්ම ඔවුන්ටද සුපර් හිමිවිය යුතු බවට මේ වන විට රජයට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.