මේ එළඹ තිබෙන්නේ පෙරහැර මාසය ලෙස හැඳින්වෙන ඇසළ මාසයයි. ඉතින් මේ මාසය තුළ ශ්‍රී ලංකාව වටා ඇති මහනුවර, අලුත් නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුර, කතරගම ආදී ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල් කරගෙන පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙනවා. මේ පෙරහැර අතරින් ප්‍රධානත්වයක් ගන්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා පෙරහැරයි.
ඇසළ පෙරහැරේ ආරම්භය අනුරාධපුර යුගය දක්වා දිවෙන බවට මත තිබ්බත් අද වන විට අපි දකින මහනුවර ඇසළ පෙරහැර කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙදී ආරම්භ වූ බව තමයි සැලකෙන්නේ. මුලින්ම සතර මහා දේවාල පෙරහැර පැවතුනු අතර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් එම පෙරහැරට දළදා පෙරහැර එකතු කර තිබෙනවා.
දේවාල පෙරහැර
මේ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සිද්ද වෙන්නේ ‘දේවාල පෙරහැර’ සමගින්. මෙය සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත්, දවුල්, හොරණෑ සහිත පෙරහැරක්. මේකෙදී අලි ඇතුන් හෝ පෙරහැර ශිල්පීන් වගේම බැතිමතුන් සහභාගී වෙන්නේ නැහැ. මෙලෙස දේවාල පෙරහැර දින 5ක් සිදු කරනවා.
කුඹල් පෙරහැර
දේවාල පෙරහරෙන් පසු රන් ආයුධ රන්සිවි ගෙයක හිඳුවලා දළදා මාලිගාව ඉදිරිපිටට පෙරහරෙන් ඇවිත් දළදා පෙරහැර ප්‍රමුඛ කරගෙන දින 5ක් ‘කුඹල් පෙරහැර’ වීදි සංචාරය කරනවා. මේ සඳහා පෙරහැර ශිල්පීන් නැට්ටුවන් වාදකයින්ද එකතු වෙනවා. සම්පූර්ණ රාකකාරි ආයිත්තම් වලින් සැරසෙන්නේ නැතුව දියවඩන නිළමේ තුමාත් මේ සඳහා සහභාගී වෙනවා.
රන්දෝලි පෙරහැර
කුඹල් පෙරහැර අවසන් වෙනවත් සමග ‘රන්දෝලි පෙරහැර’ ආරම්බ වෙනවා. සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන හෙවත් රන්දෝලි මේ පෙරහරට එකතු වෙනවා. මෙයත් දින 5ක් වීදි සංචාරය කරනවා. මේක කුඹල් පෙරහරට වඩා විචිත්‍රත්වයක් ගන්නවා වගේමම ඊට වඩා අංග සංඛ්‍යාවක් එකතු වෙන නිසා වඩා විශාල වෙනවා. අවසන් මහා පෙරහැර වඩාත් අලංකාරවත්ව පවත්වනවා. මෙය ‘මහා රන්දෝලිය’ ලෙස හඳුන්වනවා.
වෙඩිමුර
දළදා පෙරහැර සම්බන්ධ තවත් අලංකාර සිදුවීමක් වන්නේ වෙඩිමුර නිකුත් කිරීම. පෙරහැර පිටවීමට පෙර වෙඩිමුර 3ක් තබනවා. පළමු වෙඩි මුරයත් සමග පෙළ ගැසී සිටින සිව් මහා දේවාල පෙරහැර පිලිවෙලින් පැමිණ මාලිගා පෙරහැරට එකතු වෙනවා. දෙවැනි වෙඩි මුරයෙන් සධාතුක කරඬුව රන්හිලිගෙයි තැන්පත් කළ බව නිවේදනය කරනවා. තෙවැනි වෙඩි මුරයෙන් මංගල හස්තියා පෙරහැරට එකතු වීමෙන් පසුව පෙරහැර ආරම්භ කළ බව දැනුම් දෙනවා.
පෙරහැර ගෙවිදීම
අනතුරුව වීදි සංචාරය කරන පෙරහැර නැවත මාලිගයට පිවිසෙනවා. මෙය පෙරහැර ගෙවිදීම ලෙස හඳුන්වනවා. මංගල ඇතු මාලිගාවට පිවිස දළදා කරඩුව නැවත කුටිය තුළ තැන්පත් කිරීමෙන් පෙරහැර අවසන් වන බව සැලකෙනවා.
දිය කැපීම
රන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පස්සේ දිය කැපීම සඳහා ගැටඹේ තොටට යනවා. එය අවසන් වීමෙන් පස්සේ දේවාල පෙරහැර එදින දහවල් පෙරහරෙන් නැවත මාලිගාවට ගමන් කරනවා. පසුව මාලිගාව වටා තෙවරක් පැදකුණු කොට පෙරහැර අවසන් කෙරෙනවා.
මෙවර කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැර ජුලි 25 වන දා චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් පසුව ජුලි 30 වන දින සිට අගෝස්තු 9 වන දා දක්වා පැවැත්වෙනවා.
ඈත ඉතිහාසයේ සිටම ලොව පුරා බැතිමතුන්ගේ නොමද පූජෝපහාර ලබන දළදා වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව විසින් පැරණි සිරිත් අනුව සිදු කරන මී පැණි පූජාවද පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරූ පසුගිය අගෝස්තු 4 වන දා සිදු කෙරුණා.
මෙවර පෙරහැර සඳහා හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම පසුගිය ජූලි 25 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු වුනා. එහිදී බැතිමතුන් විසින් අලි ඇතුන් වෙනුවෙන් නිමවන ලද වස්ත්‍ර පරිත්‍යාග කෙරුණා.