ඉන්දුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය යාමත් සමඟ එරට බලා යන සංචාරකයින්ට ඕස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
“Denpasar, Bali ඇතුළු ඉන්දුනීසියාවේ ප්‍රධාන නගරවල ප්‍රචණ්ඩත්වය සහ දේපළ හානි දක්වා වර්ධනය වන විශාල විරෝධතා සිදුවෙමින් පවතින අතර එමඟින් දේශීය වශයෙන් අවහිරතා ඇති වීමට ඉඩ තිබෙනවා” යනුවෙන් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සංචාරක උපදේශන වෙබ් අඩවිය වන Smartraveller සති අන්තයේ දක්වා තිබුණා.
“විරෝධතා සහ පෙළපාලි මගහැර සිටින්න සහ නවතම තත්ත්වය දැනගැනීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න” යනුවෙන්ද එය දක්වා සිටියා.
දේශපාලනඥයින්ට ලබා දෙන සුඛෝපභෝගී වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය යාමෙන් පසු ඉන්දුනීසියානු බලධාරීන් සඳුදා ආරක්ෂාව තර කර ඇති අතර, පසුව එය රටේ පොලිස් බලකායට එරෙහි ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වුණා.
Jakarta අගනුවර අවම වැටුප මෙන් 10 ගුණයක් පමණ මන්ත්‍රී නිවාස දීමනා වශයෙන් ලබා දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ආරම්භ වූ මෙම මාරාන්තික විරෝධතා හේතුවෙන් ජනාධිපති Prabowo Subianto හට මෙම පියවර හකුලා ගැනීමට සිදු වුණා.
Jakarta සිට අනෙකුත් ප්‍රධාන නගර දක්වා ද විරෝධතා පැතිර ගොස් ඇති අතර, Prabowo Subianto බලයට පත්වීමෙන් පසු ඇති වූ දරුණුතම නොසන්සුන්තාවය මෙයයි. මේ සතිය වන විට ඉන්දුනීසියාවේ විශාල දූපත් සමූහය පුරා තවත් රැලි සැලසුම් කර තිබෙනවා.
මෑත දිනවල දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ නිවාස කොල්ලකා ඇති බවට ද වාර්තා වෙනවා. Jakarta මෙන්ම, Yogyakarta, Bandung, Semarang සහ Java හි Surabaya , සහ උතුරු Sumatra පළාතේ Medan ඇතුළු නගරවල ද විරෝධතා ඇති වී තිබෙනවා.
මෙම නොසන්සුන්තා හේතුවෙන් සෙනසුරාදා දින ඉන්දුනීසියාවේ TikTok හි live feature එකද දින කිහිපයකට අත්හිටුවා ඇති අතර, එහි පරිශීලකයින් මිලියන 100 කට වඩා සිටිනවා.