ගුවන් ගමන් සැලසුම් ක්ෂණිකව වෙනස් වෙන එක ඕනෑම කෙනෙකුට සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම වෙලාවට flight එක වෙනස් කරන්න ගියාම සාක්කුවට දැනෙන බර නම් ලේසි නැහැ. මෙන්න මේ ප්‍රශ්නයට නියම විසඳුමක් දෙන්න ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට Virgin Australia ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.
දැන් ඔවුන්ගේ මගීන්ට තමන් ගමන් කිරීමට නියමිත දවසේම, ඊට වඩා කලින් තියෙන වෙනත් ඕනෑම flight එකකට (ආසන තිබේ නම්) කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාරු වෙන්න අවස්ථාව ලැබෙනවා. ‘Fly Ahead’ ලෙස නම් කර ඇති මෙම නවතම පහසුකම ඔවුන්ගේ App එක හරහා ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුළුවන්.
කාටද මේ පහසුකම ලැබෙන්නේ?
ඕස්ට්‍රේලියාව ඇතුළත දේශීය ගුවන් ගමන් සඳහා Economy Flex Fare ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා සියලුම මගීන්ට මෙම සේවාව විවෘතයි.
මීට පෙර Flex Fare මගීන්, ගුවන් ගමන වෙනස් කිරීමේ Change fee එකෙන් නිදහස් වී තිබුණත්, ප්‍රවේශ පත්‍රවල මිලෙහි පවතින Fare difference එක ගෙවීමට සිදු වුණා. නමුත් නව ක්‍රමය යටතේ කිසිදු වෙනස් කිරීමේ ගාස්තුවක් හෝ ටිකට් පත් මිලෙහි වෙනසක් මගීන්ගෙන් අය කෙරෙන්නේ නැහැ.
ජීවන වියදම් පීඩනයට සහනයක්
දැනට පවතින ඉහළ උද්ධමනය සහ ජීවන වියදම් පීඩනය හමුවේ, විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා නිතර ගුවන් ගමන්වල යෙදෙන පිරිස්වලට අමතර වියදම් මඟහරවා ගැනීමට මෙමඟින් විශාල සහයෝගයක් ලැබෙනවා.
වර්ජින් ඕස්ට්‍රේලියා සමාගමේ විධායක නිලධාරිනියක වන Libby Minogue ප්‍රකාශ කළේ මෙවැන්නක්;
“අපේ මගීන්, විශේෂයෙන්ම ව්‍යාපාරික සංචාරකයන් නිතරම ඉල්ලුවේ සැලසුම් වෙනස් වන විට වඩාත් නම්‍යශීලීව සහ තමන්ට කැමති පරිදි ගුවන් ගමන් පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසයි අපි කිසිදු අමතර ගාස්තුවක් නැතිව එදාම කලින් තියෙන flight එකකට මාරු වෙන්න පුළුවන් මේ සුපිරි පහසුකම App එක හරහා හඳුන්වා දුන්නේ. මේකෙන් මගීන්ට කලින්ම ගෙදර යන්න, නැත්නම් කලින්ම meeting එකකට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා.”
දත්ත පෙන්වන ඇත්ත කතාව
සාම්ප්‍රදායික නම්‍යශීලී ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් හඳුන්වා දුන් මෙම ක්‍රමය මගීන් අතර දැනටමත් බෙහෙවින් ජනප්‍රියයි.
පසුගිය මාස 12 ඇතුළත Virgin මගීන් 44,000කට වැඩි පිරිසක් මෙලෙස කලින් තිබූ ගුවන් ගමන් වෙත මාරු වී තිබෙනවා.
මේ හරහා ඔවුන් ගුවන් තොටුපළවල් තුළ රැඳී සිටින Dwell time එකෙන් පැය 143,000ක් ඉතිරි කරගෙන තිබීම විශේෂත්වයක්.
එමෙන්ම, ව්‍යාපාරික මගීන්ගෙන් 65%ක්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් ගුවන් සමාගමක් තෝරා ගැනීමේදී මෙවැනි නම්‍යශීලී පහසුකම් පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වන බවයි.
මුලින්ම 2026 මැයි මාසයේදී ඔවුන්ගේ ඉහළ පෙළේ ‘Velocity Frequent Flyer’ සාමාජිකයින් සඳහා පමණක් පරීක්ෂණාත්මකව හඳුන්වා දුන් මෙම ‘Fly Ahead’ විශේෂාංගය, දැන් දේශීය Economy Flex මගීන් සැමටම විවෘත කර තිබීම ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ක්ෂේත්රයේ කැපී පෙනෙන පෙරළියක් වනු නොඅනුමානයි.
Image Credit: www.virginaustralia.com