අපි කඩෙන් බඩු මිලදී ගනිද්දී label එකේ සටහන් වෙලා තියෙන විස්තර දැකලා, මේවා ඇත්තටම අපේ රටේ හෝ වෙනත් නියමිත රටක නිෂ්පාදනයක් කියලා විශ්වාස කරලා ගන්නවා. ඒත්, ඒ label පිටුපස තියෙන ඇත්ත කතාව වෙනස් නම්?
මෑතකදී කළ පුදුම සහගත පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මෙරට අලෙවි වන සමහර ප්‍රසිද්ධ ආහාර ද්‍රව්‍යවල ලේබල් සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු ඒවා බවයි.
පරීක්ෂණයෙන් එළියට ආවේ මොනවද?
origin verification සඳහා සුප්‍රසිද්ධ Australian forensic traceability lab එකක් වන Source Certain ආයතනය විසින් තක්කාලි වලින් සැකසූ නිෂ්පාදන 221ක් මාස කිහිපයක් තිස්සේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ ඉන් 4න් 1ක්ම නිෂ්පාදනය කර ඇත්තේ ලේබල්වල සඳහන් වන රටවල නොවන බවයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සහ ඉතාලියේ නිෂ්පාදිතයි සටහන් කර තිබූ බොහෝ නිෂ්පාදන ඇත්ත වශයෙන්ම චීනයෙන් ගෙන්වන ලද ඒවා බව මේ හරහා හෙළි වී තිබෙනවා. මේ අතරට Leggo’s, Coles සහ Aldi වැනි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් සහ වෙළඳනාමවල නිෂ්පාදනත් ඇතුළත් බවයි ඔවුන් දක්වන්නේ.
සමාගම්වල ප්‍රතිචාරය කොහොමද?
මේ බරපතළ චෝදනා එල්ල වීමත් සමඟම අදාළ සමාගම් සහ සුපිරි වෙළඳසැල් ජාල ඒ සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. Coles ආයතනය පවසන්නේ තමන් වසර 20කට වැඩි කාලයක් විශ්වාසවන්ත සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවත්, චීන තක්කාලි භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නැති බවයි. කෙසේ වෙතත්, මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කිරීමට ඔවුන් නැවතත් සූදානම් වෙනවා. Aldi ආයතනයද සඳහන් කරන්නේ තමන් නීත්‍යානුකූල සහ විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් පමණක් භාණ්ඩ ලබා ගන්නා බවයි. Leggo’s ආයතනයේ මූලස්ථානය වන Simplot සමාගම පවසන්නේ තමන්ගේ ඔස්ට්‍රේලියානු නිෂ්පාදන පිලිබඳ වාර්තා නිවැරදි බවයි.
පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු
මේ සිදුවීමත් සමඟ පාරිභෝගිකයන් මෙන්ම දේශීය ගොවීන්ද දැඩි කලකිරීමකින් පසුවෙනවා. රටේ දැඩි නීතිරීතිවලට යටත්ව, උසස් තත්වයෙන් නිෂ්පාදන කරන දේශීය ගොවීන්ට මේ හරහා අසාධාරණයක් සිදුවන බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ. මිලදී ගන්නා ආහාරවල ගුණාත්මකභාවය සහ ඒවායේ සැබෑ මූලාශ්‍රය ගැන පාරිභෝගිකයන්ට දැන් ලොකු සැකයක් මතුවෙලා තියෙනවා.
ABC ආයතනයේ ‘Four Corners’ වැඩසටහන මඟින් සිදු කරන ලද මෙම පුළුල් විමර්ශනයෙන් හෙළි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි වන කහ කුඩු, බිත්තර, මුහුදු ආහාර සහ මත්පැන් පවා බරපතළ වංචාවන්ට ලක්ව ඇති බවයි.
ප්‍රධාන අංශ කිහිපයක් හරහා අනාවරණය වූ විශේෂිත තොරතුරු මෙන්න
- කහ කුඩු (Turmeric) වල කතාව
වෙළඳපොලේ ඇති කහ නිෂ්පාදන 28ක් පරීක්ෂා කිරීමේදී Hoyt’s, Gourmet Organic සහ Simply Organic යන වෙළඳනාමවල ප්‍රමිතිය බාල වී ඇති බව සොයාගෙන තිබෙනවා..
බරපතළම කරුණ වෙන්නේ ‘Hoyt’s’ කහ පැකට්වල තීන්ත සහ ප්ලාස්ටික් නිෂ්පාදනයට භාවිතා කරන, සෞඛ්‍යයට අහිතකර විෂ සහිත ඊයම් සංයෝගයක් වන lead chromate සහ බර වැඩි කිරීමට එකතු කළ iron oxide අඩංගු වී තිබෙනවා.
අනෙක් සන්නාම වන Gourmet Organic සහ Simply Organic කහ කුඩු වලද නියමිත පවිත්‍රතාවයක් නොමැති අතර, ඒවාට වෙනත් මිල අඩු අමුද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා..
- Cage-Free Egg වංචාව
සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths ආයතනයේ දකුණු ඔස්ට්‍රේලියානු ශාඛාවලින් මිලදී ගත් cage-free ලෙස ලේබල් කරන ලද බිත්තර පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඒවා ඇත්ත වශයෙන්ම කූඩුවල ඇති කරන ලද කුකුළන්ගේ බිත්තර බවයි.
විද්‍යාත්මක රසායනික පරීක්ෂණ මඟින් මෙය සනාථ කර ඇතත්, Woolworths ආයතනය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
- Seafood
ඔස්ට්‍රේලියානු නිෂ්පාදන ලෙස ලේබල් කර අලෙවි කරන ලද ශීත කළ ඉස්සන් සහ White fish කිහිපයක්ම පරීක්ෂාවට ලක් කර තිබෙනවා..
එහිදී අනාවරණය වී ඇත්තේ ඉස්සන් සාම්පල ආසියාවෙන් ගෙන්වන ලද ඒවා බවත්, White fish සාම්පලවලින් අඩක්ම වියට්නාමයෙන් ගෙන්වන ලද ඒවා බවයි.
- මත්පැන්වල අඩංගු මාරාන්තික Methanol
මෙල්බර්න් නගරයේ ස්වාධීන මත්පැන් සාප්පුවලින් මිලදීගත් ‘Dirty George’ (gin, vodka, white rum, whisky, bourbon) සහ ‘Tom Cobb’ whiskey බෝතල් පරීක්ෂා කිරීමේදී ඒවායේ නීතිමය සීමාව ඉක්මවා ගිය Methanol limit එකක් අඩංගු වන බව සොයාගෙන තිබෙනවා.
සමහර බෝතල්වල අවසර ලත් සීමාව මෙන් 9 ගුණයකට වඩා වැඩි මෙතනෝල් ප්‍රමාණයක් තිබී ඇති අතර, මෙය පානය කිරීමෙන් අන්ධභාවය, කෝමා තත්වයන් හෝ මරණය පවා සිදුවිය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවනවා. කෙසේ වෙතත් අදාළ සමාගම් විසින් මේ චෝදනා පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා.