කණ්ඩායම් 48කින් පටන් ගත්ත ලෝක කුසලාන මහා තරඟාවලියේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ කණ්ඩායම් 8ක් විතරයි. මේ සති අන්තය නම් පාපන්දු ලෝලීන්ට නින්ද අහිමි කරන, ලේ රත් කරන සුපිරිම තරඟ කිහිපයක් බලාගන්න පුළුවන් සති අන්තයක් වෙනවා නිසැකයි.
ඔන්න එහෙනම්, මේ පාර Quarter-finals වලට සුදුසුකම් ලැබූ රටවල් සහ ඔවුන්ගේ ගැටීම් ගැන සම්පූර්ණ විස්තරයක් සන්නස Digital අපි අරගෙන ආවා.
- France vs Morocco
ඉතිහාසය අලුත් කරන ගැටුමක්!
මේක නිකම්ම තරඟයක් නෙවෙයි, ඉතිහාසයත් එක්ක බැඳුණු මහා සටනක්. මේ පාර තරගාවලියේ ඉතිරි වෙලා හිටපු එකම අප්‍රිකානු බලාපොරොත්තුව වූ මොරොක්කෝව, Round of 16 එකේදී සත්කාරක කැනඩාව 3-0ක් විදිහට පරද්දලයි මේ වටයට ආවේ. සුපිරි Right back ක්‍රීඩක Achraf Hakimi නායකත්වයෙන් එන මොරොක්කෝව මෙවර මුහුණ දුන්නේ තමන්ව අතීතයේ යටත් විජිතයක් කරගෙන සිටි ප්‍රංශයටයි.
මේක 2022 කටාර් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය මතක් කර දෙන තරඟයක්. එදාත් මොරොක්කෝව ප්‍රංශය හමුවේ 2-0ක් විදිහට පැරදුණා. මෙවර ඔවුන් තරඟයට ඉදිරිපත් වුණේ ඊට වඩා ලොකු සූදානමකින්. අනෙක් පැත්තෙන්, ගිය පාර අනුශූරයන් වුණු ප්‍රංශයේ එකම ඉලක්කය මෙදා සැරේ කුසලානය ඔසවන එකම විතරයි. ප්‍රංශ නායක Kylian Mbappé දැනටමත් ඒ වන විටත් තරඟාවලියේ ගෝල 7ක් ලබාගෙන සුපිරි ෆෝම් එකක හිටියේ. පැරගුවේ කණ්ඩායමට එරෙහිව 70 වැනි මිනිත්තුවේදී ඔහු ලබාගත් දඬුවම් පහරත් එක්ක, ලියොනල් මෙසීගේ සර්වකාලීන ලෝක කුසලාන ගෝල 20 වාර්තාවට, තව එක ගෝලයක් පිටිපස්සෙන් හිටපු Mbappé, මොරොක්කෝවට එරෙහිව මේ වාර්තාව සම කිරීමට සමත් වුණා.
Quarter-final තරඟ වටය යටතේ පැවැත්වෙන පළමු තරඟය වන මේ තරඟය ජූලි 10 සිකුරාදා, පෙ.ව. 6:00 (AEST) ට ආරම්භ වුණා. එය 2-0 ක් ලෙස ජයගෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශය සමත් වුණා.
- Spain v Belgium
අසල්වැසි පෘතුගාලය පරදා ආ La Roja සහ ෆෝම් එකේ ඉන්න Red Devils අතර සටන
ස්පාඤ්ඤය තමන්ගේ අසල්වැසි පෘතුගාලය 1-0ක් විදිහට පරද්දලා, පාපන්දු ලොවේ නොමැකෙන තරුවක් වුණු 41 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව කඳුළින් තෙත් කරලා ගෙදර යැව්වා. තරගයේ 90+1 වැනි මිනිත්තුවේ ලබාගත් සුපිරි ගෝලයෙන් බේරුණු ස්පාඤ්ඤයට, මේ පාර බෙල්ජියමෙන් ලේසි වෙන්නේ නැහැ.
මොකද බෙල්ජියම ඉන්නේ සුපිරිම ෆෝම් එකක. ඔවුන් සත්කාරක ඇමරිකාව 4-1ක් වැනි දැවැන්ත පරතරයකින් පරද්දලා උපරිම confidence පිටයි ඉන්නේ. 2018 දී ලබාගත් තෙවැනි ස්ථානයට වඩා ඉදිරියට යන්න බෙල්ජියමට තියෙන ලොකුම බාධකය ස්පාඤ්ඤයයි.
මේ තරඟය ජූලි 11 සෙනසුරාදා, පෙ.ව. 5:00 (AEST) ට පැවැත්වෙනවා.
- Norway v England
බ්‍රසීලය හඬවපු නෝර්වේ සහ ආශ්චර්යමත් එංගලන්තය
මේ පාර ලෝක කුසලානයේ ලොකුම පෙරළිය කළේ නෝර්වේ කණ්ඩායමයි. 5 වතාවක් ලෝක ශූරයන් වුණු බ්‍රසීලය 2-1ක් විදිහට පරද්දන්න ඔවුන් සමත් වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ ලෝක පූජිත සුපිරි තරුවක් බවට පත්වෙලා ඉන්න Erling Haaland. නෝර්වේ ඉතිහාසයේ පළමු වතාවටයි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබාගෙන තියෙන්නේ.
ඔවුන්ගේ ප්‍රතිවාදියා වෙන්නේ එංගලන්තයයි. එංගලන්තයට මේ ලෝක කුසලාන ගමන ලේසි වුණේ නැහැ. කොංගෝ රාජ්‍යය වගේම මෙක්සිකෝව සමඟ පැවති තරගවලදී ඔවුන් දැඩි අසීරුතාවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අධික උන්නතාංශයක පිහිටි Estadio Azteca ක්‍රීඩාංගණයේදී මෙක්සිකෝවට එරෙහිව ලැබූ 3-2ක ජයග්‍රහණය ඔවුන්ගේ confidence උපරිමයටම නංවන්න සමත් වෙලා තියෙනවා.
මේ තරඟය ජූලි 12 ඉරිදා, පෙ.ව. 7:00 (AEST) ට පැවැත්වෙනවා.
- Argentina v Switzerland
රැකගන්න යන කිරුළ සහ ස්විස් පවුර
අවසාන Quarter-final ගැටුම වෙන්නේ වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතරයි. ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමක් වෙන ආර්ජන්ටිනාව මෙවර මෙහෙයවන්නේ සුපිරි ක්‍රීඩක Lionel Messi. Round of 16 වලදී ඊජිප්තුව 3-2ක් විදිහට පැරදුවත්, Cape Verde සහ ඊජිප්තු තරගවලදී ආර්ජන්ටිනාව පරාජයේ අද්දරටම ගිහින් බේරුණේ අනූනවයෙන්.
අනෙක් පැත්තෙන් ස්විට්සර්ලන්තය කියන්නේ ලේසියෙන් ගෝලයක් වත් දාන්න දෙන්නේ නැති දරුණු ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන කණ්ඩායමක්. ඔවුන් කොලොම්බියාව සමඟ පැවති තරගයේදී නියමිත කාලය තුළ 0-0ක් ලෙස සම වෙලා, Penalty shootout එකකින් ජයගෙනයි මෙතනට ආවේ. ස්විට්සර්ලන්තය අවසන් වරට Quarter-final ආවේ 1954 දී. ඉතින් Golden Boot සඳහා පෙරමුණේ ඉන්න මෙසී ඇතුළු ආර්ජන්ටිනා බලඇණිය මෙල්ල කරන්න ස්විස් පවුරට පුළුවන් වෙයිද?
මේ තරඟය ජූලි 12 ඉරිදා පෙ.ව. 11.00 ට (AEST) පැවැත්වෙනවා.
ඉතින්, මේ දැවැන්ත සති අන්තය වෙනුවෙන් ලෑස්ති වෙලා ඉන්න!
Image credit: newsonair.gov.in