ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම් සමාගමක් වන ‘Origin Energy’ සිය පාරිභෝගික දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ASX වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, මෙම සයිබර් ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ මුළු පාරිභෝගික සංඛ්‍යාව කොපමණදැයි තහවුරු කරගැනීමට තවමත් විමර්ශන පවත්වන බවත්, තොරතුරු තහවුරු වූ වහාම අදාළ පාරිභෝගිකයන් සෘජුවම දැනුවත් කරන බවයි.
සොරාගෙන ඇත්තේ මොනවාද?
සමාගම සනාථ කර ඇති පරිදි, අනවසරයෙන් ලබාගෙන ඇති දත්ත අතර පහත තොරතුරු ඇතුළත් විය හැකියි.
- පාරිභෝගිකයාගේ නම
- ලිපිනය
- උපන් දිනය
- දුරකථන අංකය
- ගිණුම් තොරතුරු – ක්‍රෙඩිට් කාඩ්පතේ අවසන් ඉලක්කම් 4 හෝ බැංකු ගිණුම් අංකයේ අවසන් ඉලක්කම් 3
කෙසේ වෙතත්, ක්‍රෙඩිට් කාඩ් හෝ බැංකු ගිණුම්වල සම්පූර්ණ තොරතුරු පිටතට ගොස් නොමැති බව සමාගම කලින් විශ්වාස කළද, පසුව කොටස් වශයෙන් මෙම තොරතුරුද අනාවරණය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
“සිදුවූ දේ පිළිබඳව මා කණගාටුව ප්‍රකාශ කරනවා. පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳවැටීම පිළිබඳව සමාව ඉල්ලන අතර, තවදුරටත් මෙවැනි අනවසර ඇතුළුවීම් සිදුනොවන ලෙස පද්ධති ආරක්ෂිත කිරීම අපගේ ප්‍රධානතම වගකීමයි.”යනුවෙන් Origin Energy ප්‍රධාන විධායක නිලධාරී Frank Calabria ප්‍රකාශ කළා.
හෙළිදරව් වූයේ කොහොමද?
මෙම data breach එක පිළිබඳ මුලින්ම තොරතුරු වාර්තා කළේ The Australian විසින්. අදාළ Hacker විසින් පාරිභෝගිකයන් 50 දෙනෙකුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් දත්ත සාම්පලයක් මාධ්‍ය වෙත යොමුකර තිබූ අතර, මාධ්‍ය මගින් සමාගම දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් cyber ආරක්ෂක බලධාරීන් සහ Australian Securities Exchange එක දැනුවත් කිරීමට පියවර ගත්තා. ABC පුවත් සේවයද අදාළ හැකර්වරයා සම්බන්ධ කරගෙන ඇති අතර, Origin computer systemsවල Screenshots සහ පාරිභෝගික දත්ත සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවා මීට පෙර වෙනත් security breaches වලදී නිකුත් නොවූ සැබෑ තොරතුරු බව තහවුරු වී තිබෙනවා.
බිල්පත් ප්‍රමාදය සහ data breach එක අතර සම්බන්ධයක් නෑ
මෑතකදී ඔරිජින් පාරිභෝගිකයන් රැසකට මාසික හෝ කාර්තුමය විදුලි සහ ගෑස් බිල්පත් ලැබීම ප්‍රමාද වී තිබූ අතර, බොහෝ දෙනා අනුමාන කළේ එය මෙම සයිබර් ප්‍රහාරය නිසා සිදුවූවක් ලෙසයි. කෙසේ වෙතත්, සමාගම් ප්‍රකාශකයෙකු තහවුරු කළේ ජූලි මාසයේ සිදුවූ මිල ගණන් සංශෝධන හේතුවෙන් බිල්පත් ප්‍රමාද වූ අතර, එය සයිබර් ප්‍රහාරය සමග සම්බන්ධයක් නැති බවයි.
පාරිභෝගිකයන් මිලියන 4.8කට අධික සංඛ්‍යාවකට විදුලිය, ගෑස් සහ අන්තර්ජාල පහසුකම් සපයන Origin Energy සමාගම, ඕස්ට්‍රේලියානු බලශක්ති ක්ෂේත්රයේ මෙතෙක් වාර්තා වූ විශාලතම සයිබර් ප්‍රහාරයට මෙසේ මුහුණ දී සිටිනවා. 2025 වසරේ Qantas සමාගමටත්, 2022 වසරේ Optus සහ Medibank සමාගම්වලටත් එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරවලින් පසු ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ සමාගමක් මුහුණ දුන් තවත් ප්‍රධාන ආරක්ෂක බිඳවැටීමක් ලෙස මෙය හැඳින්විය හැකියි.