ඕස්ට්‍රේලියාවේ විශාලතම ජංගම දුරකථන ජාලය වන Telstra පසුගිය බදාදා උදෑසන හදිසියේම බිඳවැටීමකට ලක්වීමත් සමඟ එරට ජන ජීවිතය දැඩි ලෙස අඩපණ වුණා. දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ අන්තර්ජාලයට පිවිසීමට නොහැකි වීමෙන් ආරම්භ වූ මේ අර්බුදය, දුම්රිය ගමනාගමනය, ව්‍යාපාරික කටයුතු සහ EV Charge කිරීම දක්වාම බලපෑම් ඇති කළා.
මිලියන 25කට අධික පාරිභෝගිකයින් පිරිසකට සේවා සපයන Telstra ජාලයේ මේ හදිසි බිඳවැටීම අගමැති Anthony Albanese හැඳින්වූයේ දැඩි කනස්සල්ලට කරුණක් ලෙසයි.
උදෑසනම එල්ල වූ ප්‍රහාරය
බදාදා අලුයම 4:00 ට පමණ පාරිභෝගිකයින් අවදි වනවිටත් ජාලය අක්‍රිය වී තිබුණා. 5:30 වනවිට පැමිණිලි 7,000කට වඩා වාර්තා වී තිබූ අතර, ඇතැම් අයට 000, හදිසි ඇමතුම් අංකයට පවා සම්බන්ධ වීමට නොහැකි වී තිබුණා.
පැය 6කට ආසන්න කාලයක් පැවති මෙම බිඳවැටීම නිසා ඕස්ට්‍රේලියානුවන් කොතරම් දුරට Telstra ජාලය මත යැපෙනවාද යන්න හොඳින්ම පැහැදිලි වුණා.
ව්‍යාපාරික ගැටලු
කාඩ්පත් මගින් මුදල් ගෙවන Eftpos යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා ආපනශාලා සහ වෙළඳසැල් දැඩි අපහසුතාවයකට පත් වුණා. Online ව්‍යාපාර කරන අයට ද තමන්ගේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා.
හදිසි සේවා
හදිසි ඇමතුම් අසාර්ථක වූ පුද්ගලයින් 333 දෙනෙකු සම්බන්ධයෙන් Telstra ආයතනය විශේෂ අවධානයක් යොමු කළ අතර, පොලීසිය මැදිහත් වී පුද්ගලයින් 79 දෙනෙකුගේ සුවදුක් සොයා බැලුවා.
මඟ නැවතුණු කෝච්චි සහ EV වාහන
මේ ජාල බිඳවැටීමේ දරුණුම ප්‍රතිඵලයක් වුණේ ප්‍රවාහන ක්ෂේත්‍රය අඩාල වීමයි.
දුම්රිය අවලංගු වීම
වික්ටෝරියා ප්‍රාන්තයේ V/Line කලාපීය දුම්රිය සේවය සහ NSW ප්‍රාන්තයේ කලාපීය දුම්රිය මාර්ග කිහිපයක්ම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවුණා. බදාදා සවස වනවිටත් බස් රථ එනතුරු මගීන් පැය ගණනක් පෝලිම්වල රස්තියාදු වුණා.
EV වාහන චාජ් කරගන්න බැරි වීම
අතම පුද්ගලයින්ට මග ගමන් කරමින් සිටියදී ජාලය බිඳවැටීම නිසා දුරකථනයේ Maps වැඩ නොකිරීම සහ EV charging station එකේ App එක හරහා මුදල් ගෙවීමට නොහැකි වීම නිසා කාරය charge කරගැනීමට බැරි වීම වැනි හේතු නිසා අපහසුතා වලට මුහුණ දීමට සිදු වුණා.
හේතුව කුමක්ද? සයිබර් ප්‍රහාරයක්ද?
බොහෝ දෙනෙකුට 2025 වසරේ සිදුවූ, ජීවිත 3ක් පවා අහිමි කල, දරුණු Optus ජාල බිඳවැටීම මතක් වුණත්, මෙවර Telstra බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් නොවන බව Telstra ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී Michael Ackland තහවුරු කළා.
මෙය මෘදුකාංග දෝෂයක් නිසා සිදුවූවක් බවත්, බදාදා සවස 5:00 වනවිට ජාලයේ සේවා 100% ක්ම යථා තත්ත්වයට පත් කළ බවත් ඔහු ප්‍රකාශ කළා.
වංචාකරුවන්ගෙන් ප්‍රවේසම් වන්න!
මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන Telstra නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින වංචාකරුවන්ගේ ඇමතුම් රැසක් වාර්තා වී ඇති බැවින්, එවැනි ඇමතුම් වහාම විසන්ධි කරන ලෙස Telstra ආයතනය පාරිභෝගිකයින්ට දැඩි ලෙස අනතුරු අඟවා සිටිනවා.
ජාලය යථා තත්ත්වයට පත් වුවත්, බ්‍රහස්පතින්දා උදෑසන දක්වාම දුම්රිය ප්‍රමාදයන් වැනි අතුරු ආබාධ පවතිනු ඇති බවට බලධාරීන් මගීන්ට පෙර දැනුම්දීම් කර තිබෙනවා. තාක්ෂණය මත පමණක් යැපෙන අපේ ජීවිතවලට එක මොහොතකින් සිදුවිය හැකි දේ මෙයින් කදිමට පැහැදිලි වෙනවා.
Image credit: australiancybersecuritymagazine.com.au