රජුගේ උපන්දිනය නොවැම්බර් නම්, ‘King’s Birthday’ ජුනි මාසයේ වුණේ කොහොමද?

  • Home
  • /
  • Blog
  • /
  • රජුගේ උපන්දිනය නොවැම්බර් නම්, ‘King’s Birthday’ ජුනි මාසයේ වුණේ කොහොමද?

ඕස්ට්‍රේලියාවේ ‘King’s Birthday’ කියන්නේ බ්‍රිතාන්‍යයේ මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තවත් රටවල් 12ක රාජ්‍ය නායකයා වන තුන්වන චාල්ස් රජුගේ (King Charles III) උපන්දිනය නිල වශයෙන් සැමරීම වෙනුවෙන් ලබාදෙන, රජයේ නිවාඩු දිනයක්. 

නමුත් ඕස්ට්‍රේලියාවේ හැමෝම මේ නිවාඩුව එකම දවසක සමරන්නේ නැහැ. ප්‍රාන්ත අනුව නිවාඩුව යෙදෙන දවස වෙනස් වෙනවා.

බ්‍රිතාන්‍යයේ සැමරුම්වලට අනුකූලව, ඕස්ට්‍රේලියාවේ බොහෝ states සහ territories වල මෙම නිවාඩුව යෙදෙන්නේ ජුනි මාසයේ දෙවන සඳුදා දිනටයි. සම්ප්‍රදායිකව මෙම ජුනි නිවාඩු දිනය ඕස්ට්‍රේලියාවේ Ski season එකේ ආරම්භය ද සනිටුහන් කරනවා.

2016 වසරේ සිට ක්වීන්ස්ලන්තය තුළ මෙම නිවාඩු දිනය ඔක්තෝබර් මාසයේ පළමු සඳුදා දින සමරනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ රජුගේ උපන්දින නිවාඩුව සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල කාලසීමාවකදී සමරනු ලබන අතර, නිශ්චිත දිනය තීරණය කරනු ලබන්නේ State Governor විසින්.

 

පොදු ජන ජීවිතයට සහ ව්‍යාපාරවලට වන බලපෑම

මෙම නිවාඩු දිනයේදී ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන සාමාන්‍යයෙන් වසා තැබෙනවා. ඇතැම් වෙළඳසැල් විවෘතව පැවතුණත්, ඒවා ක්‍රියාත්මක වන්නේ සීමිත වේලාවක් සඳහා පමණයි. එසේම පොදු ප්‍රවාහන සේවා ද සීමා වෙනවා.

 

‘Queen’s Birthday’ සිට ‘King’s Birthday’ දක්වා වෙනස් වූ ඉතිහාසය

2022 සැප්තැම්බර් මාසයේදී දීර්ඝතම කාලයක් රජකම් කළ II වන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු, III වන චාල්ස් රජු සිහසුනට පත්වුණා. ඒ අනුව 2023 වසරේ සිට, පැවති ‘Queen’s Birthday’ නිවාඩුව ‘King’s Birthday’ ලෙස නිල වශයෙන් නම් කෙරුණා.

වයස අවුරුදු 25 දී (1952 දී) සිහසුනට පත් වූ එලිසබෙත් රැජින, වයස අවුරුදු 96 දී මියයන තෙක් වසර 70ක් පුරා රාජ්‍යත්වය හෙබවූවා. කෙසේ වෙතත්, එක් එක් ප්‍රාන්තවල Public Holidays Acts වල සිදුකළ නාමික සංශෝධනය හැරුණුකොට, ප්‍රායෝගිකව මෙම නිවාඩු දිනයේ වෙනත් කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ.

 

සැබෑ උපන්දිනය නොවැම්බර් නම්, නිවාඩුව ජුනි මාසයේ දෙන්නේ ඇයි?

III වන චාල්ස් රජු සැබවින්ම උපත ලැබුවේ 1948 නොවැම්බර් 14 වනදා බකිංහැම් මාලිගයේදීයි. නොවැම්බර් මාසයේ උපන්දිනය යෙදී තිබුණත්, එක්සත් රාජධානියේ මෙම සැමරුම සාමාන්‍යයෙන් ජුනි මාසයේදී පවත්වනු ලබනවා. 

මෙයට හේතුව වන්නේ බ්‍රිතාන්‍යයේ ගිම්හාන කාලය පවතින ජුනි මාසයේදී කාලගුණය යහපත් නිසා, රජුගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන සුප්‍රසිද්ධ ‘Trooping the Colour parade’ එක වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවස්ථාව ලැබීමයි.

 

මේ සම්ප්‍රදාය ආවේ කොහොමද?

1748 සිට බ්‍රිතාන්‍යය කිරීටයේ නිල උපන්දිනය මෙම ‘Trooping the Colour’ පෙළපාලිය සමඟින් සමරනු ලැබුවා. 1901 සිට 1910 දක්වා රජකම් කළ VII වන Edward රජු උපත ලබා තිබුණේ ද සීතල නොවැම්බර් මාසයකයි. සීතල සහ අඳුරු නොවැම්බර් උදෑසනක මේ parade එක පවත්වනවා වෙනුවට, යහපත් කාලගුණයක් ඇති මැයි හෝ ජුනි මාසවලදී රජුගේ නිල උපන්දිනය සැමරීමේ සම්ප්‍රදාය ඔහු විසින් ආරම්භ කරන ලද අතර, එතැන් සිට පැමිණි සෑම රජෙක් සහ රැජිනක්ම එම සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යනු ලබනවා.

 

 

Image credit: edition.cnn.com

Don't forget to share this post!

Recent Posts

872
June 5, 2026