ඇමරිකාව අතහැර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් යන ඇමරිකානු ජිම්නාස්ටික් තරුව කවුද?

  • Home
  • /
  • Art
  • /
  • ඇමරිකාව අතහැර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් යන ඇමරිකානු ජිම්නාස්ටික් තරුව කවුද?

ලෝක ජිම්නාස්ටික් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් සතුටුදායක වගේම ආඩම්බර විය හැකි පුවතක් වාර්තා වෙනවා. ඒ තමයි ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ දක්ෂතා දැක්වූ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ බිමට පිවිසීමට තීරණය කර තිබීමයි.

UCLA විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ටියානාගේ, මව්පියන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයන්. ඇය පසුගිය ඉරිදා නිල නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයේ (World Gymnastics) තම ක්‍රීඩා අනන්‍යතාවය ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙනස් කළ බවයි.

සිය තීරණය ගැන අදහස් දක්වමින් ටියානා මෙලෙස පවසා තිබුණා. “පසුගිය වසර 5 පුරා ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරන්න ලැබීම මට ලැබුණු ලොකු ගෞරවයක්. ඒත් මගේ හදවතට ගොඩක් සමීප ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කරන්න ලැබීම ගැන මම අද ගොඩක් ආඩම්බර වෙනවා. ඔලිම්පික් තරගාවලියකට සහභාගී වීම මගේ ලොකුම හීනයක්. ඒ හීනය මගේම රට වෙනුවෙන් සැබෑ කරගන්න ලැබෙන එක ඒ හීනය තවත් විශේෂ එකක් කරනවා. ලංකාවේ වගේම සමස්ත දකුණු ආසියාවේම ජිම්නාස්ටික් ක්‍රීඩාවට ලැබෙන්නේ අඩු අවධානයක්. ඉතින් මේ ලස්සන කලාපය ලෝකය ඉදිරියට අරන් යන්න දායක වෙන්න ලැබීම මට ලොකු සතුටක්.”

ශ්‍රී ලාංකික-ඇමරිකානු තරුණියක ලෙස තමන් සැමවිටම රටවල් දෙකටම ආදරය කරන බවත්, තමන්ට ඉදිරියේදී ලැබෙන නව අවස්ථා ගැන මහත් බලාපොරොත්තු තබා සිටින බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

 

කවුද මේ ටියානා සුමනසේකර?

ටියානා කියන්නේ සාමාන්‍ය ක්‍රීඩිකාවක් නෙවෙයි. ඇය 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා නම් කළ ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක (Olympic alternate) ලෙසද කටයුතු කළා. එමෙන්ම 2025 වසරේ පැවැති Pan American ශූරතාවලියේදී රන් පදක්කම දිනූ ඇමරිකානු කණ්ඩායමේ සාමාජිකාවක වූ ඇය, පසුගිය වසරේ පැවැති ඇමරිකානු ජිම්නාස්ටික් ශූරතාවලියේ Beam ඉසව්වෙන් 6 වැනි ස්ථානයත්, සමස්ත ඉසව්වලින් 9 වැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වුණා.

ඇමරිකාවේ අතිශය ජනප්‍රිය සරසවි ජිම්නාස්ටික් (NCAA) තරඟාවලියේදී Bruins කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඇය ඉහළම දක්ෂතා දැක්වූවා. විශේෂයෙන්ම ඇය දකුණු ආසියානු සංස්කෘතිය ලෝකයට පෙන්වීම සඳහා බොලිවුඩ් සංගීතයට අනුව ඉදිරිපත් කළ Floor Routine වීඩියෝවක් පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා බෙහෙවින් Viral වුණා.

 

ලංකාවේ ජිම්නාස්ටික් හෙට දවස

මෑත කාලයේදී ලෝක ජිම්නාස්ටික් පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සටහන් වූ අවස්ථා කිහිපයක්ම තිබෙනවා.

2021 වසරේදී: මිල්කා ගෙහානි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබමින්, ඔලිම්පික් ගිය පළමු ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වුණා.

2023 වසරේදී: අමායා සිතුමිණි කළුකෝට්ටගේ ‘FISU World University Games’ වෙනුවෙන් ලංකාවෙන් සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත්වුණා.

ටියානා වැනි ලෝක මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක ලංකාවට එකතු වීමත් සමඟ, ඉදිරි ඔලිම්පික් තරඟාවලි වලදී ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් තබාගත හැකියි.

ශ්‍රී ලංකාවේ නම ලෝකය ඉදිරියට ගෙන යන්නට සැරසෙන ටියානා සුමනසේකරට අපෙන් උණුසුම් සුබපැතුම්!

 

Image credit: si.wikipedia.org

Don't forget to share this post!

Recent Posts

900
June 22, 2026