Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වය නිසා ඔස්ට්‍රියාව සමඟ පැවැති “Group J” තරඟයෙන් ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලබන්නට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සමත් වුණා. මේ ජයග්‍රහණයත් එක්කම, මූලික වටයේ තවත් එක තරඟයක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරඟාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නට ආර්ජන්ටිනාවට අවස්ථාව ලැබුණා.
ටෙක්සාස් හි පැවැති මෙම තරඟයේ පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර, ඉතාමත් අලංකාර ක්‍රීඩා විලාශයකින් අනතුරුව මෙසී ලබාගත් වම් පාදයේ පහරකින් ආර්ජන්ටිනාවට පළමු ගෝලය හිමි වුණා. ඉන් නොනැවතුණු මෙසී, තරඟයේ පසු භාගයේදී තවත් ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
Kloseගේ වාර්තාව බිඳ දමයි!
මෙම ගෝල 2ත් සමඟ මෙසී ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ ලබාගත් සමස්ත ගෝල සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව ජර්මනියේ සුපිරි ක්‍රීඩක Miroslav Klose ගෝල 16ක් ලබා තබා තිබූ වාර්තාව බිඳ හෙළන්නට 39 හැවිරිදි මෙසීට හැකි වුණා. මීට පෙර ඇල්ජීරියාවට එරෙහිව පැවැති පළමු තරඟයේදී Hat-trick එකක් වාර්තා කරමින් මෙසී මෙම වාර්තාව සම කර තිබුණා. තරඟයෙන් පසු අදහස් දැක්වූ ආර්ජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක Julian Alvarez පැවසුවේ, මෙසී යනු පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා බවයි.
මෙසී තැබූ නව ගිනස් වාර්තා 4
මෙම ඓතිහාසික තරඟයෙන් පසුව Guinness World Records විසින් මෙසී සතු කරගත් නව ලෝක වාර්තා 4ක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා:
- වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව: ගෝල 18යි.
- වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාව: තරඟ 28යි.
- ලෝක කුසලාන තරඟවලදී ලැබූ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව: තරඟ 18යි.
- ලෝක කුසලාන ඉතිහාසයේ පිටිය තුළ ගත කළ වැඩිම කාලය: මිනිත්තු 2,489යි.
කෙසේ වෙතත්, තරඟයේ 9 වැනි මිනිත්තුවේදී Lautaro Martinezට ඔස්ට්‍රියානු defendersලාගෙන් එල්ල වූ බාධාව නිසා VAR තාක්ෂණයේ සහය ඇතිව ආර්ජන්ටිනාවට Penalty අවස්ථාවක් හිමි වුණා. නමුත්, මෙසී එල්ල කළ එම පහර ගෝල කණුවෙන් ඉවතට ඇදී ගියේ මුළු ක්‍රීඩාංගණයම නිහඬ කරමින්. මීට පෙර 2018 සහ 2022 ලෝක කුසලාන තරඟාවලිවලදී ද මෙසී අතින් මෙලෙස Penalty අවස්ථා ගිලිහී තිබුණා.
කෙසේ වෙතත්, එම මුල් අවස්ථාව මඟහැරුණත්, පසුව මෙසී දියත් කළ සුපිරි ක්‍රීඩා විලාශය නිසා ආර්ජන්ටිනාව ඉතා පහසුවෙන්ම තරඟයේ ජයග්‍රහණය කරා රැගෙන යන්නට ඔහුට හැකි වුණා.
Image Credit: sports.yahoo.com