Cascadia Subduction කලාපය දිගේ දැවැන්ත භූමිකම්පාවක් ඇති වුවහොත්, බලවත් මෙගා-සුනාමියක් එක්සත් ජනපදයට බලපෑ හැකි බව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් පැසිෆික් වයඹ, Alaska සහ Hawaii හි විශාල ප්‍රදේශවලට තර්ජනයක් ඇති විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
Virginia Tech පර්යේෂකයන් විසින් Proceedings of the National Academy of Sciences හි පල කරන ලද නව අධ්‍යයනයක කොටසක් ලෙසයි මෙය එළි දක්වා තිබෙන්නේ.
ඉදිරි වසර 50 තුළ කලාපයට 8.0 ට වඩා වැඩි භූමිකම්පාවක් ඇතිවීමේ සම්භාවිතාව 15% ක් බව පර්යේෂණය ඇස්තමේන්තු ගතකර තිබෙනවා. එවැනි සිදුවීමක් වෙරළබඩ භූමිය අඩි 6.5 ක් දක්වා ගිලා බැසීමට හේතු විය හැකි අතර, එය සුනාමියේ විනාශකාරී බලය සැලකිය යුතු ලෙස වැඩි කරනවා.
උතුරු California සිට කැනඩාවේ Vancouver දූපත දක්වා විහිදෙන සැතපුම් 600 ක් දිග දෝෂ රේඛාවක් වන Cascadia Subduction Zone එක, උතුරු ඇමරිකානු භූ තැටිය යටින් Juan de Fuca භූ තැටිය ක්‍රමයෙන් ලිස්සා යන ස්ථානයයි.
විද්‍යාඥයින් පවසන්නේ මෙම භූ විද්‍යාත්මක පිහිටීම මගින් විශාල ජල ප්‍රමාණයක් විස්ථාපනය කළ හැකි දැවැන්ත megathrust භූමිකම්පා ඇති කිරීමේ හැකියාව ඇති බවයි. අධ්‍යයනයට අනුව, උතුරු California, උතුරු Oregon, සහ දකුණු Washington ඉහළම අවදානම් සහිත ප්‍රදේශ අතර වෙනවා.
සුනාමිය කියන වචනේ අපිට ටිකක් හුරු පුරුදු වුනාට Mega-Tsunami කියන එක ටිකක් අලුත්. වචනෙන් කියවෙනවා වගේම සාමාන්‍ය සුනාමියකට වඩා දැවැන්ත සුනාමි තමයි Mega-Tsunami කියලා කියන්නේ. මේවා ජනනය වෙන්නේ මහා පරිමාණ දිය යට කැළඹීම් නිසා. මේ හේතුවෙන් ඇති වන සුනාමි රළ කිලෝමීටර් කිහිපයක් රට අභ්‍යන්තරයට ගමන් කරමින් අඩි සිය ගණනක් උස රළ ඇති කරනවා.
මේක දුර්ලභ සිදුවීමක් වුණත් මේ වගේ විනාශකාරී සිදුවීම් අතීතයේ සිදු වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් ජනාකීර්ණ වෙරළබඩ ප්‍රදේශයකට බලපෑවොත් ඇති වන හානිය හිතාගන්න පුළුවන්.