ලොව කීර්තිමත්ම වනජීවී ඡායරූප ශිල්පියා ශ්‍රී ලංකාවෙන්

  • Home
  • /
  • News
  • /
  • ලොව කීර්තිමත්ම වනජීවී ඡායරූප ශිල්පියා ශ්‍රී ලංකාවෙන්

වනජීවී ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ලන්ඩනයේ Natural History Museum විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට Wildlife Photographer of the Year (WPY) තරඟයේදී සම්මානයට පාත්‍ර වීමෙන් නැවතත් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දී තිබෙනවා.

‘Oscars of Wildlife Photography’ ලෙස පිළිගැනීමට ලක් වන මෙම තර්නගය තුල ඔහු ලබාගත් 2වන ජයග්‍රහණයයි. මෙම තරඟයේ වසර 61 ක ඉතිහාසය තුල කිහිප වතාවක්ම සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි.

1965 දී ආරම්භ වූ WPY සඳහා මෙම වසරේ රටවල් 120 කට අධික සංඛ්‍යාවකින් වාර්තාගත ඇතුළත් කිරීම් 60,636 ක් ලැබුණු අතර, ජයග්‍රාහකයින් ලෙස තෝරාගෙන ඇත්තේ ඡායාරූප 100 ක් පමණයි.

‘Toxic Tip’ ලෙස නම් කර ඇති ලක්ෂිතගේ සම්මානලාභී ඡායාරූපය, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේදී ලබාගත් එකක් වන අතර, එහිදී ඔහු වසර තුනකට ආසන්න කාලයක් මිනිස්-අලි ගැටුමේ විනාශකාරී බලපෑම් සහ අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිළිවෙත් අධ්‍යයනය කරමින් සිටිනවා.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ තනි අලියෙකු විශාල කුණු කසළ ගොඩක සිටින ආකාරයයි. පොලිතීන්, ප්ලාස්ටික් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීම ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට වැඩි වැඩියෙන් තර්ජනයක් වන ආකාරය පිළිබඳ මෙය මනා සාක්‍ෂියක්.

විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ එවැනි අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් දරුණු ආහාර ජීර්ණ අවහිරතා, විෂ වීම් සහ අලි ඇතුන්ගේ ආයු කාලය කෙටි විය හැකි බවයි. වාසස්ථාන ආක්‍රමණය, වේගවත් කෘෂිකාර්මික ව්‍යාප්තිය, වන විනාශය, සැලසුම් නොකළ සංවර්ධනය, ආහාර සහ ජලය සඳහා තරඟකාරිත්වය සහ දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් වාර්ෂිකව අලි ඇතුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් සහ මිනිසුන් 100 ක් මිය යන අතර, ශ්‍රී ලංකාව දැනටමත් ආසියාවේ ඉහළම අලි මිනිස් ගැටුමකට (Human Elephant Conflict – HEC) මුහුණ දී තිබෙනවා.

“මෙම සම්මානය මට පමණක් නොවේ. එය අපද්‍රව්‍ය සහ ජීවන රටාවන් වනජීවීන්ට බලපාන ආකාරය සලකා බැලීමේ හදිසි අවශ්‍යතාවය මතක් කිරීමක්. ශ්‍රී ලාංකිකයන් ලෙස, අලි ඇතුන් අපගේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් වන අතර එය ආරක්ෂා කිරීම අපගේ උරුමය ආරක්ෂා කිරීමයි.” යනුවෙන් ඔහු පවසා සිටියා.

ලක්ෂිත ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන අතර ඔහු දිනාගත් සම්මාන සමඟ ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති ඔහුගේ කෘති ප්‍රමුඛ පෙළේ ගෝලීය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Image credit: https://www.adaderana.lk

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025