හැමදාම හවස 3ට Darwin අහසේ දිස්වන හෙක්ටර් කවුද? විද්‍යාඥයන් පවා මවිත කළ රහස

  • Home
  • /
  • Blog
  • /
  • හැමදාම හවස 3ට Darwin අහසේ දිස්වන හෙක්ටර් කවුද? විද්‍යාඥයන් පවා මවිත කළ රහස

කාලගුණ විද්‍යාඥයන් සාමාන්‍යයෙන් සුවිශේෂී නමක් දෙන්නේ විශාල ප්‍රදේශයකට දැඩි බලපෑමක් එල්ල කළ හැකි සුළි කුණාටු වගේ භයානක තත්ත්වයන්ට විතරයි. හැබැයි ඕස්ට්‍රේලියාවේ තියෙන එකම එක අකුණු කුණාටුවක් මේ නීතියට පටහැනිව තමන්ටම කියලා නමක් දිනාගෙන තියෙනවා. 

ඒ තමයි “Hector”. හැබැයි හෙක්ටර්ට මේ නම ලැබුණේ එයාගේ තියෙන විනාශකාරී බලය නිසා නෙවෙයි. එයාගේ තියෙන පුදුමාකාර විශ්වාසවන්තභාවය නිසයි!

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් පිහිටි Tiwi Islands ආශ්‍රිතව හටගන්නා හෙක්ටර්, කොයිතරම් වෙලාවට වැඩ කරනවද කියනවා නම්, එයා එන වෙලාව බලලා අපේ අත් ඔරලෝසුවේ වෙලාව වුණත් හදාගන්න පුළුවන්. 

සැප්තැම්බර් ඉඳන් මාර්තු වෙනකම් තියෙන වැසි කාලයේදී, හැමදාම හවස 3 වෙද්දී හෙක්ටර් අනිවාර්යයෙන්ම දූපතට ඉහළින් මතු වෙනවා. 

 

හෙක්ටර් මෙච්චර වෙලාවට වැඩ කරන්නේ කොහොමද?

මේ පුදුමාකාර නිශ්චිතභාවයට හේතුව තමයි Tiwi දූපත් සතු සුවිශේෂී ක්ෂුද්‍ර දේශගුණය, එහෙමත් නැත්නම් Microclimate එක සහ එහි පිරමිඩයක හැඩය ගත් භූ විෂමතාවය. උදෑසන කාලයේදී ගොඩබිම තියෙන වියළි වාතය, මුහුදෙන් එන තෙත් වාතයට වඩා වේගයෙන් රත් වෙනවා. මේ වියළි වාතය රත් වී ප්‍රසාරණය වෙද්දී දූපතට ඉහළින් අඩු පීඩන කලාපයක් හැදෙනවා. මේ නිසා වටේම තියෙන මුහුදු හුළං දූපත දෙසට ඇදී එනවා. හැම පැත්තකින්ම එන මේ මුහුදු හුළං දූපතේ කඳු මුදුන්වලදී එකිනෙක ගැටී, යන්න වෙන පාරක් නැති නිසා වේගයෙන් ඉහළට ගමන් කරනවා.

මුහුදේ තෙතමනයත් අරගෙන මෙහෙම ඉහළට යන වායු ධාරාව සීතල වෙලා, ඝනීභවනය වෙලා විශාල වලාකුළු සාදනවා. මෙය වායුගෝලයේ දැඩි අස්ථාවරත්වයක් ඇති කරමින් ක්ෂණිකව ප්‍රබල සංවහන කුණාටුවක් හෙවත් Convective storm එකක් බවට පත් වෙනවා. 

අන්න ඒ නිසයි කාලගුණ ලෝකයේ මෙයාට “Hector the Convector” කියන සුරතල් නම පටබැඳිලා තියෙන්නේ. 

 

19km ක් උස මහා වලාකුළ 

දෙවන ලෝක යුද්ධ සමයේදී ගුවන් නියමුවන්, ඩාවින් සහ පැපුවා නිව්ගිනියාව අතර පියාසර කරද්දී මඟ සොයාගන්නා සලකුණක් විදිහට පාවිච්චි කළේ මේ දැවැන්ත Cumulonimbus වලාකුළයි.

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, හෙක්ටර් කියන්නේ පෘථිවියේ අඛණ්ඩවම හැදෙන විශාලතම අකුණු කුණාටුවලින් එකක්. සාමාන්‍යයෙන් 19km ක් (හැතැප්ම 12ක්) විතර උසට හැදෙන මේ වලාකුළ, සමහර වෙලාවට වායුගෝලයේ දෙවැනි ස්ථරය වෙන Stratosphere එකට පවා ඇතුළු වෙනවා.

විද්‍යාඥයන්ට ලැබුණු රන් ආකරයක් සාමාන්‍යයෙන් අකුණු කුණාටු කියන්නේ කලින් කියන්න බැරි, ඉතා කෙටි කාලයකින් නැතිවෙලා යන දේවල් නිසා ඒවා ගැන පර්යේෂණ කරන්න අමාරුයි. හැබැයි 1980 ගණන්වල ඉඳන් විද්‍යාඥයන් හෙක්ටර්ගේ මේ වෙලාවට වැඩ කිරීමේ ගුණය පාවිච්චි කරලා, කුණාටු හැදෙන හැටි සහ අකුණු ගැසීම් ගැන ලෝකයේ සාර්ථකම පර්යේෂණ රැසක් සිදු කරලා තියෙනවා.

ඉතින් ඔයත් Darwin වල ඉන්න කෙනෙක්නම් ඔයත් හෙක්ටර්ව දැකල ඇති.

Don't forget to share this post!

Recent Posts

904
July 3, 2026