බෞද්ධ සංස්කෘතිය තුළ වස්සාන කාලයේ ආරම්භයත් සමග එළඹෙන නිකිණි පොහොය, බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණු පොහොය දිනයක්.
ආනන්ද හිමියන් රහත් වීම
ප්‍රථම ධර්ම සංගීතිය වෙනුවෙන් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේ සූදානම් වෙද්දී පෙර දා වන විටත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් රහත් ඵලයට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව ආනන්ද තෙරුන් අරහත් ඵලයට පත් වීම සිදු වුණෙත් ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පුන් පොහෝ දින අළුයමයි.
පළමු ධර්ම සංගායනාව ඇරඹීම
මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් 500ක් මහා රහතන් වහන්සේලා විසින් සත් මසක් පුරාවට පැවැත්වූ “පඤ්චසතිකා විනයසංගීති” හෙවත් පළමු ධර්ම සංගායනාව ආරම්භ කලේද නිකිණි පුන් පොහොය දිනයකදීයි. මෙලෙස ඇසළ පුන් පොහොය දා වස් එළඹී මහා රහතන් වහන්සේ නිකිණි පුන් පොහොය දා රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී අජාසත් රජුගේ දායකත්වයෙන් ධර්ම සංගායනාව ආරම්භ කරන ලදී.
රාහුල තෙරුන් රහත් වීම
ශ්‍රාවස්ථිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිය 14 වන වස්කාලය ගත කළ බුදුරජුන් රාහුල තෙරනුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කළ අතර එය අසා සිටි රාහුල තෙරනුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීයි.
සේරුවිල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට සේරුවිල මංගල දා ගැබ තැනීම ආරම්භ කිරීම සිදු වුයේත් නිකිණි පුන් පොහෝ දිනකදීයි.
ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පසළොස්වක පොහෝ දිනයි.
පසු වස් විසීම ඇරඹීම
මේ කරුණු අතරින් බෞද්ධ සමාජය තුළ වඩාත් අවධානයට ලක් වෙන කාරණාව වන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පසු වස් එළඹෙන පොහොය වීමයි. මේ වස්සාන කාලය තුළ සිදු කෙරෙන වස් විසීමේ සම්ප්‍රදාය භික්ෂුන් වහන්සේලා සහ ගිහියා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්ධනය වෙන දෙපක්ෂය තුළින්ම යුතුකම් ඉටු වෙන අවස්තාවක් ලෙස සලකන්න පුළුවන්.